ගැස්ට්‍රයිටිස් වළක්වාගැනීමට ප්‍රතිකාර ක්‍රම සොයායාම වෙනුවට තමන්ටම එය පාලනය කළහැකි ක්‍රම අනුගමනය කිරීමට පුරුදු වෙමු.

ආමාශයේ ප්‍රදාහක තත්ත්වයක් ලෙස හඳුන්වන ගැස්ට්‍රයිටිස් මගින් පුද්ගලයෙකුගේ ආමාශ බිත්තිය තුවාලවීමට ලක්වන අතර, එහි රෝග ලක්‍ෂණ ලෙස බඩේ දැවිල්ල, උගුරට ඒම හෙවත් බඩේ ගෑස් ගතිය සහ ඔක්කාරය ඇතිවීම හැඳින්විය හැකිය. වර්තමානයේ බොහෝ පිරිසක් මෙම රෝගයෙන් පීඩාවිඳින නිසාම, මෙම රෝගයට හේතු මොනවා ද යන්න විමසා බැලීමට අපි සිතුවෙමු.

හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (Hcl) ශ්‍රාවයවීම නිසා ආමාශ බිත්තිය ආවරණය වී ඇති පටලය ඉදිමීමට ලක්වන අතර, එය ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවීමට බලපාන ප්‍රධානම හේතුව ලෙස සඳහන් කළ හැකිය. කෙසේනමුත්, මෙසේ ඉදිමීමට ලක්වූ පටලය තැනින් තැන තුවාලවීම ආරම්භවීමත් සමග මෙම රෝගය බරපතල තත්ත්වයකට පැමිණේ. මෙම තුවාලවලින් අධික ලෙස ලේ වහනය වන්නේ නම් හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවී රෝගියාට සිහිමුර්ජා තත්ත්වයන් ද ඇතිවිය හැකිය. මෙම තත්ත්වය රෝගයේ උච්චතම අවස්ථාවයි.

ගැස්ට්‍රයිටිස් ඇතිවීමට පුද්ගලයෙකු ගන්නා ආහාර මෙන්ම ආහාර රටාව ද බලපාන බව අප කවුරුත් දන්නා නමුදු ආමාශ බිත්තියේ අසාදනයට හේතුවන Helico Bacterpylori නම් බැක්ටීරියාව ද ආමාශ ප්‍රදාහයට හේතුකාරක වන බව මෑතකදී සිදුකළ පර්යේෂණ මගින් තහවුරු වී ඇත.

ශරීරයේ බර වැඩි පුද්ගලයින් වෛද්‍යවරයෙකුගේ නියමයකින් තොරව ආහාර පාලනයකිරීම මගින් ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවන්නේ යැයි සමාජයේ දුර්මතයක් පවතින නමුත්, නියමිත වේලාවට ආහාර නොගැනීම මෙම රෝගයට ප්‍රධානතම හේතුව බව අප මතක තබා ගතයුතුය. සාමාන්‍යයෙන් ආමාශයේ ආම්ලිකතාවයක් පවතින අතර ආමාශයේ ආහාර ජීර්ණය සඳහා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ශ්‍රාවය විය යුතුය. දිගුකාලයක් ආහාර නොගෙන සිටියහොත් සිදුවන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිපදවීම වැඩිවී ආමාශ බිත්තිය ඛාදනයවීමට පටන්ගැනීමයි. ස්ථූලතාවයෙන් යුක්ත පුද්ගලයෙකු පිෂ්ඨ ආහාර අඩුවෙන් ගනිමින් නිසි වෙලාවට ආහාරගැනීමට පුරුදුවන්නේ නම් ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇතිවීමෙන් වැළකිය හැකිය.

මානසික පීඩනය හේතුවෙන් ද ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇතිවේ යැයි සමාජ මතයක් පවතින අතර එහි යම්කිසි සත්‍යතාවයක් පවතින බව අප පිළිගත යුතුය. පුද්ගලයෙකු මානසික පීඩනයෙන් පෙළෙන්නෙක් නම් ශරීරයේ නොයෙකුත් හෝමෝන වර්ග වැඩිපුර ශ්‍රාවය වන අතර, එලෙස ශ්‍රාවය වන හෝමෝන අතර Cortisol හෝමෝන සහ Adrenalin විශේෂ වේ. මෙවැනි හෝමෝන මගින් ආමාශ ප්‍රදාහය ඇතිවන අතර නිතරම මානසික පීඩනයෙන් සිටින්නෙක් නම්, මෙම හෝමෝන ශ්‍රාවයවීම මගින් ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ බහුලය.

ජලය නිසිලෙස පානය නොකිරීමෙන් ගැස්ට්‍රයිටිස් ඇතිවේ යැයි බෙහෝදෙනා අතර පවතින තවත් මතයකි. එය සෘජුවම මෙම රෝගය ඇතිවීම කෙරෙහි බලනොපාන නමුත් පුද්ගලයෙකු හොඳින් ජලය පානය කිරීමෙන් ආමාශයේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ සාන්ද්‍රණය අඩුවීමෙන් ගැස්ට්‍රයිටිස් තත්ත්වයේ යම් පාලනයක් කළ හැකිය.

පපුවේ දැවිල්ල මෙම රෝගී තත්ත්වය හඳුනාගැනීමට ඇති රෝග ලක්‍ෂණයකි. නමුත් හෘදයාබාධයක් හේතුවෙන් ද පපුවේ දැවිල්ලක් ඇතිවිය හැකිය. එසේනම් මෙම පපුවේ දැවිල්ල ගැස්ට්‍රයිටිස් රෝගයේ ලක්‍ෂණයක්ම බව පුද්ගලයෙක් තහවුරු කරගන්නේ කෙසේ ද යන්න දැනගැනීම මෙහිදී වැදගත්ය. හෘදය පිහිටා තිබෙන්නේ උරස් කුහරයේ වන අතර, ආමාශය පිහිටා තිබෙන්නේ ඒ සමගම පහළින් ඇති උදර කුහරයේ ය. එමනිසා ආමාශ ප්‍රදාහයේ ඇතිවන වේදනාව පපුවේ කැක්කුම ලෙසත්, හෘදයේ ඇතිවන වේදනාව ගැස්ට්‍රයිටිස් ලෙසත් වරදවා වටහා ගතහැකිය. හෘදයාබාධයකදී හෘද වස්තුවට ලේ ගමන්කිරීම අඩුවන නිසා යම් මහන්සි ගතියක් ඇතිවේ. පපුවේ වේදනාවක් ඇතිවීම සහ එය බෙල්ලට හෝ වම් අතට විහිදීම හෝ වේදනාව සමග දැඩි ලෙස ඩහදිය දැමීම හෘදයාබාධයක ලක්‍ෂණ වේ. එහෙත් උදරයේ ගෑස් ගතිය ගැස්ට්‍රයිටිස් රෝගය නිසා ඇතිවන ලක්‍ෂණයකි.

ගැස්ට්‍රයිටිස් තත්ත්වය වර්ධනයට හේතුවන ඖෂධවලින් වැළකී සිටීමට ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙන්නන් උත්සහ කළයුතු අතර, මෙම ඖෂධ බොහෝවිට වේදනානාශක ලෙස භාවිත කරන Non-Steroidal Anti-Inflammatory Drugs (NSAIDs) කාණ්ඩයේ ඖෂධ වේ. මෙම කාණ්ඩයේ ඖෂධ සඳහා උදාහරණ ලෙස Ibuprofen, Diclofenac, Mefenemic Acid, Naproxcn, Asprin ඖෂධ හඳුන්වාදිය හැකිය.

ගැස්ට්‍රයිටිස් රෝගියෙක් ආහාරපාන ගැනීමේදී විශේෂයෙන්ම සැලකිලිමත් වියයුතු අතර, ආමාශ ප්‍රදාහය වැඩිකරන ආහාර ගැනීමෙන් වැළකීසිටීම යෝග්‍ය වෙයි. උදාහරණ වශයෙන් ආම්ලිකතාව වැඩිකරන ආහාරපාන වශයෙන් සලකන විනාකිරි සහ දෙහි පරිභෝජනය අඩුකළ යුතුය. එමෙන්ම අධික මිරිස්, තුනපහ, ගම්මිරිස් වැනි කුළුබඩු වර්ග පමණ ඉක්මවා ආහාරයට නොගත යුතුය. එසේම කෝපි, මද්‍යසාර, පලතුරුබීම සහ බැදපුකෑම වැනි දේවල් ගැනීමෙන් ද වැළකිය යුතුය. එළවළු, මාළු සහ යෝගට් වැනි ආහාරගැනීම මේ සඳහා වඩාත් යෝග්‍යය වෙයි.

අප සියලුදෙනා උදෑසන ආහාරය රජෙක් මෙන් ගතයුතුය. ඒ මන්දයත්, පුද්ගලයෙකු රාත්‍රී ආහාරයෙන් පසු පැය 12ක් පමණ නිරාහාරව සිටින බැවිනි. උදෑසන ආහාරයට ඉංග්‍රීසියෙන් පවසන්නේ breakfast යනුවෙනි. එහි තේරුම වන්නේ නිරාහාරව සිටීම කැඩීම නැතහොත් නිරාහාරව සිටීම නැවැත්වීමයි. උදෑසන ආහාරය නිසිපරිදි නොගෙන සිටියහොත් රාත්‍රියේදී ද ආහාර නොගත් නිසාවෙන් ආහාර නොමැතිව හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ශ්‍රාවය වන නිසා ආමාශයේ තුවාල ඇතිවීමට ඇති ඉඩකඩ වැඩිය. එමනිසා උදෑසන ආහාරය නිසි ආකාරයෙන් ගැනීම ගැස්ට්‍රයිටිස් රෝගය වළක්වාගැනීමට උපකාරී වේ.

එබැවින් ගැස්ට්‍රයිටිස් වළක්වාගැනීමට ප්‍රතිකාර ක්‍රම සොයායාම වෙනුවට තමන්ටම එය පාලනය කළහැකි ක්‍රම අනුගමනය කිරීමට පුරුදුවන්න.