සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සවියක් වන රටක් වෙනුවෙන්…

සටහන: ධනංජි සමරකෝන්

ඇමෙරිකානු ඉතිහාසය හරිහැටි නොදැන දෝ ඇමෙරිකානු රාජ්‍ය නායකයන් සහ සෙනෙට් සභිකයන් බහුතරයක් කියා සිටින්නේ, ඔවුන් සකසා දුන් දුම්රිය හා මහා මාර්ගවල ව්‍යාපාරිකයෝ සිය නිෂ්පාදන ප‍්‍රවාහනය කරන බවයි. සැබවින්ම ඉතිහාසය හරිහැටි දන්නා අයට නම් මෙය විහිලුවකි. මන්දයත් සැබෑ කතාව ඔවුන් දන්නා බැවිණි. ඇමෙරිකාවේ මහා මාර්ග හා දුම්රිය මාර්ග බොහොමයක් ඉදිකරන ලද්දේ පුද්ගලික ව්‍යවසායකයන් විසිනි. ඒ අනුව, දුප්පත් රටක් ලෙස පැවැති ඇමෙරිකාව ධනවත් රටක් බවට පරිවර්තනය වීමේ පසුබිමට ආණ්ඩු කි‍්‍රයාකාරිකයන්ට වඩා උරදීමක් පුද්ගලික ව්‍යවසායකයන්ගෙන් සිදුවූ බව පැහැදිලිය.

සැබවින්ම, ඇමෙරිකාව පිළිබඳ වන මෙම කතාව කියන්නට අවැසි වූයේ, ඇමෙරිකාවේ රාජ්‍ය නායකයන් හෝ සෙනෙට් සභිකයන් අප රටේ දේශපාලන කරලියේ සිටින මිනිසුන් හා සමාන හෝ අසමාන බව ප‍්‍රකාශ කිරීමට නොව, රටක සිටින ව්‍යවසායකයන් සංවර්ධන කි‍්‍රයාදාමය තුළ කෙතරම් තීරණාත්මක බලවේගයක් ද යන්න පෙන්වාදීම සඳහාය.

ව්‍යවසායකයා යනු මෙතෙක් ඉටුකර නොමැති ඉල්ලුමක් හඳුනාගෙන එය සපයන්නට ක‍්‍රමයක් සොයාගත්, නිෂ්පාදනයෙන් එයට අගයක් දුන්, තමන්ටත් සමාජයටත් වටිනාකමක් එකතු කරන්නෙකි. කෙටියෙන් කිවහොත්, ව්‍යවසායකයා යනු ගැටලු විසඳන්නෙක් සහ වස්තු සම්පත් නිර්මාණය කරන්නෙකි. ඔහුගේ මූලික අදියර ඇරඹෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙකු ලෙසිනි. රටක ආර්ථිකයේ සහ සමාජයේ දිගුකාලීන සමෘද්ධිය වෙනුවෙන් අත්‍යවශ්‍ය සාධකයක් බවට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පත්වන්නේ එබැවිණි.

ඒ අනුව, රටක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිළිගන්නා සංස්කෘතියක් සේම, ව්‍යවසායකයන් බිහිවීමට අවශ්‍ය පසුබිමක් සහිත වටපිටාවක් නිර්මාණය කර පවත්වා ගැනීමට රජයක් නිබඳවම උත්සහ කළ යුතුය. වත්මන් අධ්‍යාපන ක‍්‍රමවේද සහ ගතානුගතික සමාජ ආකල්ප තුළින් පුද්ගලයා සතු ව්‍යවසායකත්ව කුසලතා මොට කර ඇති අතර, තම දරුවන් පුරුදු පුහුණු කරනුයේ මැනවින් ඉගෙන රැකියාවක් කිරීමට විනා, අලුත් යමක් කරන ව්‍යවසායකයෙක් නිර්මාණය කිරීමට නොවේය. එබැවින්, ව්‍යාපාරිකයින් බහුතරයකගෙන් යුත් රටක් නිර්මාණය වන්නට නම්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමයෙන් ඊට තල්ලුවක් සැපයෙන ප‍්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කිරීම පළමුවෙන්ම කළයුතු කාර්යයයි.

සිංගප්පූරුව යනු අතිදැවැන්ත ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගත් රටකි. ඔවුහු රටේ සංවර්ධනයේ ගාමක බලවේගය ලෙස සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හඳුනාගෙන ඔවුන්ගේ බිහිවීම වර්ධනය කරන උපක‍්‍රමයන් රට තුළ කි‍්‍රයාත්මක කළහ. ඒ අතර වූ එක් උපක‍්‍රමයක් වූයේ, ව්‍යාපාරයක් බිහිවූ මුල් මාස 6ත් 12ත් අතර කාලයේ කිසිඳු බදු මුදලක් ඔවුන්ගෙන් අයකර නොගැනීමයි. සැබවින්ම අප රටට ද අවශ්‍ය වන්නේ මෙවැනි ක‍්‍රමවේදයන් නොවේ ද?

තවද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ බිහිවීම වේගවත් කිරීමට රටක පවතින බැංකු හා මූල්‍ය ආයතනවලට ද සුවිශේෂී කාර්යභාරයක් හිමිවේ. එනම් මෙම ව්‍යවසායකයන්ගේ මූල්‍යමය ප‍්‍රවේශයන් වඩාත් පුළුල් කළයුතු වීමයි. මෙම පුළුල්කිරීම තුළ ලංකාවේ නම් සැබවින්ම සිදුවිය යුත්තේ බැංකු හෝ මූල්‍ය ආයතන විසින් මූල්‍ය සේවාවන් වඩාත් නම්‍යශීලී අයුරින් ඔවුන් වෙත ලබාදීමයි. එනම් රබර් නිෂ්පාදනය සම්බන්ධ සුළු පරිමාණ ව්‍යාපාරිකයෙක් බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ණය මුදලක් ඉල්ලා සිටින විට, එය ශ්‍රී ලංකාවේ ඉහළපෙළේ මහා පරිමාණ ව්‍යාපාරයක පවතින සුදුකම්වලට සමාන තරම් සුදුසුකම් පූර්ණය කර ඇතිදැයි බලා ලබාදෙන ණය මුදලක් නොවිය යුතුය. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෙකු වෙනුවෙන් බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් නම්‍යශීලී අයුරින් සලකා ඔහුගේ මූල්‍යමය අවශ්‍යතාවන්ට විසඳුමක් නොවේ නම්, එය, ගෝලීය ව්‍යාපාරයක් වෙත ගමන්කරන දැවැන්තයෙකුගේ මඟ වසා දැමීමක් විය හැකිය.