ඒ සොඳුරුතමයාගේ පුනරාගමනයක් දකින්නට නම්…

සටහන: ධනංජි සමරකෝන්
සුන්දර ගයනාවේ වෙරළ තීරයකදී තවත් එක් අනභිභවනීය මිනිසෙකුගේ ජීවන වෘත්තාන්තයක අවසානය සනිටුහන් වූයේ ලොව පුරා මානව හිතවාදීන්ගේ හදවත් තුළ සදානුස්මරණීය සිහිවටනයක් ශේෂ කරමිනි. ලොව දැවැන්තම ජාවාරමකට එරෙහිව ගෙනගිය තනි-පුද්ගල සටනක සාඩම්බර, පුරෝගාමී මං සලකුණ යැයි හැඳින්විය හැකි මේ මිනිසා මහාචාර්ය සේනක බිබිලේ නම් විය. ඔහු ගෙනගිය ප්රබුද්ධිත විප්ලවයේ පුනරාවර්ජනයක් තබන්නට කාලය එළැඹ ඇතැයි හැඟෙනුයේ, හිපොක්රටික් පරපුරෙන් ෂයිලොක් පරපුරක් වෙත වෙද නලාව මාරුවෙමින් පවතින සංක්රාන්තික යුගයක් වෙත අප පැමිණ ඇති බැවිණි.
 
නවීන වෛද්ය විද්යා අධ්යාපනය මෙරට අරඹනු ලැබුවේ වර්ෂ 1870දී පමණ වන අතර, එදා මෙදා තුර ශ්රී ලංකාවේ බිහිවූ සියලු වෛද්යවරු අතරින් මිනිස් සංහතියේ පොදු යහපත වෙනුවෙන් විශාල සේවයක් කර ඇති වෛද්යවරයා අවිවාදයෙන්ම සේනක බිබිලේ නම් අසාමාන්ය මිනිසා යැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා විසින් හඳුන්වන්නට වූයේ පොදු ජනතාවට අත්යවශ්ය, සපල හා ගුණාත්මක බවින් ප්රශස්ත ඖෂධ හැකිතාක් සාධාරණ මිලකට ලබාදීමට එරෙහිව ක්රියාකරන ජාත්යන්තර අදමිටු ඖෂධ ජාවාරම්කරුවන්ට විරුද්ධව මුළු ලෝකයෙන්ම පළමුවෙනි ක්රමානූකූල, බුද්ධිමය ක්රියාදාමයක නියමුවා ඔහු වූ බැවිණි. ජීවිතය පවා අවධානමකට ලක්ව තිබියෙදී සිය අවසන් හුස්මපොද දක්වා මනුෂ්ය වර්ගයාගේ යහපත පිණිස කටයුතු කළ මේ වෛද්යවරයා, කූට ඖෂධ වෙළඳුන්ගේ හා සමාගම්වල වරදානයන් ලබන්නට නීරෝගී බව පතා තමන් වෙත පැමිණෙන අසරණ රෝගීන්ට මිල අධික වෙළඳ නාමයකින් සංග්රහ කර හිපොක්රටික් වෙද නලාව අපවිත්ර කරගන්නා වෛද්යවරුන් බහුල සමාජයක එහි නොගැටී සිටි අග්රගන්යයා යැයි කීම අතිශයෝක්තියක් නොවනු ඇත.
 
1970 ගණන්වලදී එස්. ඒ. වික්රමසිංහයන් හා එක්ව ජාතික ඖෂධ ප්රතිපත්තියක් සැකසූ බිබිලේ, අපට අවශ්ය ඖෂධ අප රටෙහිම නිපදවීමේ අවශ්යතාව පෙන්වාදෙමින් ලොව ප්රබලතම ජාවාරම්කරුවන්ට එරෙහිව පෙරමුණ ගත්තේය. හුදෙක් මනෝරාජික සංකල්පයක් ලෙස ඇතැමුන් එය විවේචනය කළ නමුදු වසර තුනක කාලයක් තුළ තත්ත්වයෙන් උසස් ඖෂධ නිපදවා රුපියල් කෝටි 11ක විදේශ විනිමයක් රට තුළ ඉතිරි කරවීමට එමගින් හැකිවිය. මේ සියල්ල සිදුවූයේ පහසුවෙන් නොවූවද මෙම ජාවාරමට වැට බැඳිය හැක්කේ ලෝකය දැනුවත් කර ඊට එරෙහිව ලොවම එක් පෙරමුණකට ගැනීමෙන් යැයි අවබෝධ කරගත් බිබිලේ 1976දී නොබැඳි ජාතින්ගේ සමුළුව මගින් මෙම ගෝලීය අර්බුදය ලෝකයට පැහැදිලි කරදෙන්නට සමත් විය.
 
එහි ප්රතිඵලයක් ලෙස 1977 වර්ෂයේ අප්රේල් මස 24වෙනි දින ඔහු UNCTAD සංවිධානයේ ජ්යෙෂ්ඨ ඖෂධ ප්රතිපත්ති විශේෂඥවරයා ලෙස පත්කරනු ලැබිණි. මෙය ලෝකයේ ඖෂධ වෙළඳාමේ තීරණාත්මක සන්ධිස්ථානයක් වූයෙන් වෙළඳ මාෆියාව ඔහු පසුපස හඹායන්නට විය. එහෙත් එම සියලු බලවේග අභියස ඔහුගේ මතය වූයේ ජනතාව උදෙසා සේවය කිරීම නිසා, සිදුවන මරණය වඩාත් ශ්රේෂ්ඨ මරණයක් වන බවයි. එලෙසම නව තනතුරත් සමගින් අප්රිකානු රටවල දුගී දුප්පත් ජනයා උදෙසා ඖෂධ ප්රතිපත්තියක් සකස් කිරීමට තොරතුරු සොයාගිය මේ සොඳුරු මානව හිතවාදියා 1977 සැප්තැම්බර් 29වෙනි දින ගයනාවේ රෝහල් ඇඳක් මත වැතිර සිටියේ යළි කිසිදා අවදි නොවන්නටයි.
 
එහෙත්, ඔහුගේ ප්රතිපත්තියෙන් රටවල් 130ක් පමණ ආලෝකය ලබාගනිමින් ඖෂධ ප්රතිපත්ති තරකරද්දී බිබිලේගේ ඖෂධ ප්රතිපත්ති ලියැවිල්ල පවා ආරක්ෂා කරගන්නට නොහැකිව එහි පදනමවත් කැටි නොවූ අලුත් පනත් සකසන ලංකාවක කතාන්දරය අතිශයින්ම ශෝචනීය නොවන්නේද? එවන් පසුබිමක් මත ඖෂධ ජාවාරම්කරුවන්ගේ වරදානයන්ට ගිජු නොවී ඖෂධීය නාමයෙන් ඖෂධ නියම කරන වෛද්යවරුන්ගේ පටන් මෙම විප්ලවයට ප්රබුද්ධ ලෙස සහය දෙන සියලු මිනිස් නියෝජනය තුළ දැකිය හැක්කේ සේනක බිබිලේ නම් ලොවට යහපත රිසිවූ ඒ සොඳුරුතමයාගේ පුනරාගමනයයි.