ශ්‍රී ලංකාව තුළ එක්සිම් බැංකුවක අවශ්‍යතාවය ගෙනහැරපාන්නට වෙරිටේ සමගින් දිරිමඟ සිදුකළ සංවාදයක සටහන

භාණ්ඩයක් හෝ සේවාවක් අපනයනය කිරීමේදී, එයට අදාළ ගෙවීම් සිදුකිරීමේ ක්‍රමවේදය පිළිබඳව අපනයනකරුවාට ගැනුම්කරුවා සමග එකඟතාවයකට පැමිණීමට සිදුවේ. අපනයන මූල්‍යකරණය යනු කුමක්දැයි සරලවම හැඳින්වුවහොත්, භාණ්ඩය ලබාගන්නා තෙක් ගැනුම්කරුවා විසින් සිදුකළ යුතු ගෙවීම ප්‍රමාද කිරීමට අපනයනකරුවා එකඟතාවයකට පැමිණි විට පවතින අවදානම අවම කිරීමේ රක්‍ෂණාවරණයක් හෝ මූල්‍ය ක්‍රමවේදයක් ලෙස හැඳින්විය හැකිය.

අපනයන මූල්‍යකරණයෙහි සරලතම ආකාරය වන්නේ, ගැනුම්කරුවාගේ බැංකුව ගෙවීම සිදුකිරීමට වගකීම දැරීම (Letter of Credit) වන අතර, මෙවැනි සරලතම අපනයන මූල්‍යකරණ පහසුකම් බොහොමයක් වාණිජ බැංකු මගින් ද සපයනු ලබයි. නමුත් අපනයනකරුවන්ගේ මූල්‍යමය අවශ්‍යතා මින් ඔබ්බට විහිදෙයි. භාණ්ඩය ගැනුම්කරුවා වෙත අවතීර්ණවීමට ගතවන කාලයත්, එය විකිණීමට ගතවන කාලයත් ගත්විට ගැනුම්කරුවාගෙන් මුදල් ලබාගැනීමට දළ වශයෙන් මාස හයක පමණ කාලයක් ගතවිය හැක. මෙවැනි කාලයක් තම ගැනුම්කරුවාගෙන් අදාළ ගෙවීම ලැබෙන තෙක් බලා සිටීමට සිදුවීම විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට විශාල ගැටලුවක් වන්නේ, නිෂ්පාදන ක්‍රියාවලියේදී අමුද්‍රව්‍යවලට හා ශ්‍රමිකයින් හට වැය වූ ප්‍රාග්ධනය(Working Capital Requirement) නැවත ලබාගැනීමට එතරම් කාලයක් බලා සිටිය නොහැකි බැවිණි.

නමුත්, එවැනි හේතු මුල්කොටගෙන ගැනුම්කරුවන්ගේ කොන්දේසීන්ට එකඟ නොවුවහොත් වෙළඳපොළ තරගකාරිත්වයත් සමග වටිනා අපනයන අවස්ථාවන් මඟහැරෙනු ඇත. බැංකුවක හෝ මූල්‍යමය ආයතනයක සහය අපනයනකරුවන් හට අවශ්‍ය වන්නේ මෙවන් අවස්ථාවන්හිදී ය. නමුත්, පවතින වාණිජ බැංකු අපනයන සඳහා ණය ලබාදීම (විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් හට) අවදානමක් ලෙස සැලකීම අපනයන මූල්‍යකරණ ගැටලුව උග්‍ර කරන්නකි.

අපනයන මූල්‍යකරණ ගැටලුවලට විසඳුම් සපයන ක‍්‍රමවේදයක් ලෙස අපනයන-ආනයන බැංකුව (Export-Import Bank) හෙවත් එක්සිම් බැංකු (EXIM Bank) ස්ථාපනය සංවර්ධිත රටවල පවා දැකිය හැක. ලාභ ලැබීම ප‍්‍රමුඛ කරගත් වාණිජ බැංකුකරණයෙන් ඔබ්බට ගොස්, රටක ආර්ථික සංවර්ධනයට උරදෙන අපනයනකරුවන්ගේ ගැටලු කෙරෙහි පූර්ණ අවධානය යොමුකරමින්, ඒවාට විසඳුම් සැපයීම එක්සිම් බැංකුවක කාර්යභාරය වන අතර, එහි හිමිකාරිත්වය රජය හෝ පෞද්ගලික අංශය හෝ එම අංශ ද්විත්වයම සතුවිය හැකිය.

වෙරිටේ රිසර්ච්හි ආර්ථික පර්යේෂණ ප‍්‍රධානී, සුභාෂිණී අබේසිංහ සමගින් දිරිමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී, ශ්‍රී ලංකාව තුළ එක්සිම් බැංකුවක අවශ්‍යතාව පිළිබඳව ඇය ඉදිරිපත් කළේ මෙවන් අදහසකි.

“ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක් බැවින් ජාත්‍යන්තර වෙළඳපොළේ තරගකාරිත්වය රැකගැනීමට නිරතුරුව නව නිෂ්පාදන හා නව ක‍්‍රමවේදයන් සොයාගැනීමේ අවශ්‍යතාවය වැඩියි. එබැවින් ආදායම් මට්ටම සහ වත්මන් අපනයන සංයුතිය විවිධාංගීකරණයේ අවශ්‍යතාව සලකා බැලීමේදී ශ්‍රී ලංකාව තුළ එක්සිම් බැංකුවක් පිහිටුවීමේ අවශ්‍යතාවය ඉතා කාලීනයි.”

අපනයනකරුවන් මුහුණදෙන මූල්‍යමය ගැටලුවලට පිළියම් යෙදීම පමණක් නොව වෙළඳපොළෙහි පවතින අවධානම තක්සේරු කිරීමට සහ අවම කිරීමට දායක වන තොරතුරු සැපයීම ද එක්සිම් බැංකුවකින් සිදුවන්නකි. නව ගැනුම්කරුවන් හා වෙළඳපොළ ප‍්‍රවණතා පිළිබඳ අධ්‍යයනයන් කරමින් එම දැනුම අපනයනකරුවන්ට ලබාදීම ඊට උදාහරණයක් ලෙස දැක්විය හැකිය.

එමෙන්ම භාණ්ඩ කිහිපයකට පමණක් සීමා නොවී ලාංකීය අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය උදෙසා ද එක්සිම් බැංකුවකින් දායකත්වයක් ලැබෙන්නේ සාමාන්‍ය බැංකුවල අවධානයෙන් ගිලිහී ගිය කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් වෙත මූල්‍යමය පහසුකම් සැපැයීම තුළිනි.

අභියෝග හා ප‍්‍රවණතා

දැනට ශ්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක ශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාව (SLECIC) විසින් සිදුකරනු ලබන්නේ ද අපනයන මූල්‍යකරණ සේවාවක් බැවින් එක්සිම් බැංකුවක් සැබැවින්ම අවශ්‍ය ද යන ගැටලුව යමෙකුට ඇතිවිය හැකිය. SLECIC මගින් සිදුකරනු ලබන්නේ, ගැනුම්කරුවෙකු විසින් ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක අපනයනකරු රක්‍ෂණාවරණයකින් ආවරණය කිරීමයි. මෙමගින් අවධානම අඩු කළහැකි බැවින් දැරියහැකි පොලී අනුපාතිකයකට වාණිජ බැංකුවලින් ණය ලබාගැනීමට අපනයනකරුවන්ට හැකියාව ලැබේ. නමුත් SLECICහි කාර්යය එක්සිම් බැංකුවක කාර්යය හා සැසඳිය නොහැක. පෙර සඳහන් කළ පරිදි, එක්සිම් බැංකුවක් මගින් රක්‍ෂණාවරණයකින් ඔබ්බට ගිය සේවාවන් රැසක් සැපයේ. වෙළඳපොළ තොරතුරුවලින් සන්නද්ධ කරමින්, නව උපායමාර්ග හා මෙවලම් හඳුන්වාදෙමින්, පුහුණුව ලබාදෙමින්, අපනයනකරුවන්ව මූල්‍යමය හා භෞතික වශයෙන් සෘජුවම ශක්තිමත් කිරීම එමගින් සිදුකරයි.

එක්සිම් බැංකුවක් පිහිටුවීමේදී, අනෙකුත් රටවල්හි එහි බලපෑම කෙබඳුදැයි සැලකිල්ලට ගැනීම වැදගත් වේ. බොහෝ රටවල්හි මෙම ක‍්‍රමය සාර්ථකව ක‍්‍රියාත්මක වුවද චීනයේ එක්සිම් බැංකුව උදාහරණ කරගන්නෝ පවසන්නේ විශාල ප‍්‍රමාණයෙන් ණය ලබාදෙන එවන් බැංකුකරණයක් ශ්‍රී ලංකාවට නොගැළපෙන බවයි.

චීනයේ එක්සිම් බැංකුව හා ලංකාවේ පිහිටුවීමට යෝජිත එක්සිම් බැංකුව සංසන්දනය කළ නොහැකියි. චීනයේ එක්සිම් බැංකුව පෝර්ට් සිටි වැනි මහා පරිමාණ ව්‍යාපෘති උදෙසා අවශ්‍ය මූල්‍යකරණ පහසුකම් තම රටේ ආයතනවලට ලබාදෙන ආයතනයක්. ලංකාවේ පිහිටුවීමට යෝජිත එක්සිම් බැංකුව මූලික වශයෙන් අවධානය යොමුකළ යුත්තේ අපනයනකරුවන් (විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්) දිරිගැන්වීමටයි,” යනුවෙන් සුභාෂිණී අබේසිංහ ගෙන් ඒ පිළිබඳ කළ විමසීමේදී පැවසීය.

වාණිජ බැංකුවලට ගැටලුවක් ද?

එක්සිම් බැංකුවක් පිහිටුවීමෙන් වාණිජ බැංකුවලට අවාසියක් සිදුවේද? යන්න තවත් ගැටලුවකි. නමුත් මෙහිදී හෙළිවන්නේ, එක්සිම් බැංකුවකින් ආවරණය කරනු ලබන්නේ වාණිජ බැංකුවලින් දැනටමත් මඟහැරුණු පිරිසක් බවයි. එක්සිම් බැංකුවකින් සහය ලබාගන්නා අපනයනකරුවන් යම් මූල්‍යමය ශක්‍යතාවයකට පැමිණි කල්හි වාණිජ බැංකුවලට තම පාරිභෝගික ජාලය වැඩි කරගත හැකිය. ඊට අමතරව එක්සිම් බැංකුවක රක්‍ෂණාවරණයක් හරහා අපනයනකරුවන්ට ණය ලබාදීමේ අවකාශය සැලසේ. එසේම එක්සිම් බැංකුවට වාණිජ බැංකු හරහා ද අපනයකරුවන්ට ණය ලබාදීම සිදුකළ හැක. ඒ අනුව ගත්කළ මෙය වාණිජ බැංකුවලට අත්වන වාසියකි.

කි‍්‍රයාත්මක නොවන්නේ මන්ද?

එක්සිම් බැංකුවක අවශ්‍යතාවය පැහැදිලිව තිබියෙදී පමණක් නොව, එයට අවශ්‍ය තාක්‍ෂණික සහය ලබාදීමට පොදු රාජ්‍ය මණ්ඩලය එකඟත්වය පළකොට තිබියෙදීත්, මෙය ක‍්‍රියාත්මක නොවන්නේ මන්දැයි විමසා බලන විට පෙනීයන්නේ, අයවැයෙන් මේ සඳහා වෙන්ව ඇති රු. මිලියන 50ක මුදල ප‍්‍රමාණවත් නොවන බවයි. එම අයවැය යෝජනාව ප‍්‍රායෝගික නොවුවද එක්සිම් බැංකුවක අවශ්‍යතාවය හඳුනාගැනීම පවා සතුටට පත්විය හැකි කරුණකි. කෙසේවුවද, ශ්‍රී ලංකාවේ අපනයන-ආනයන බැංකුවක් පිහිටුවන්නේ නම් ඒ ආශ‍්‍රිත නිසි අධ්‍යයනයන් සිදුකොට එය දේශපාලනීකරණය නොවූ ස්වාධීනත්වයෙන් යුත් ආයතනයක් කිරීමත් ඊට අවශ්‍ය මූල්‍යමය සහය ලබාදීමත් රජයේ වගකීමයි.

(2016 ඔක්තෝබර්-දෙසැම්බර් දිරිමඟ කලාපයෙන් උපුටා ගන්නා ලද ලිපියකි.)