වියට්නාමයේ වේගවත් ආර්ථික ප‍්‍රසාරණයේ ගාමක බලවේගය ඩොයි මොයි ප‍්‍රතිසංස්කරණයන් ද?

සටහන: ධනංජි සමරකෝන්

“වියට්නාමයේ හැනෝයි අගනුවර ඇවිදින ඔබට එහි සෑම තැනකම සීමාරහිත ශක්තියක් රැඳී පවත්නා බව වැටහෙයි. සැප පහසු ජීවිතයක් ගතකරන මිනිසුන්, ගැණිය නොහැකි තරම් කුඩා කඩ සාප්පුවල සිට දුරකථන මිලදී ගැනීමට ඇති කඩ සාප්පු වලින් ද, භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන්ගෙන් ද, ස්කූටර්වලින් ගමන්ගන්නා මිනිසුන්ගෙන් ද, පාසැලට සහ රැකියාවට යාමට ලහිලහියේ දුවන මිනිසුන්ගෙන් ද මෙම නගරය පිරී ඇත. ඇත්තටම වියට්නාමය තරුණයි. එය වැඩෙමින් පවතියි.” The story of Viet Nam’s economic miracle නම් ලෝක ආර්ථික සංසදයේ ලිපියක පිටර් වැන්හැම් නම් ලේඛකයා වියට්නාමයේ ආර්ථික වර්ධන වේගය පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසිණි.

එහෙත්, එය සෑමවිටම එසේම නොපැවතුණි. මීට වසර 30කට පෙර ලොව දුප්පත් රාජ්‍යයන් අතුරින් එකක් වූ වියට්නාමය මැදි ආදායම් ලබන රටක් බවට පත්වූයේ කෙසේ ද? අප දන්නා පරිදි, 1975දී විසිවසරක් පුරා පැතිරී ගිය බිහිසුණු වියට්නාම යුද්ධයෙන් ලෝක බලවතා දණගැස්සවීමට වියට්නාමයට හැකිවුව ද ලොව දුර්වල ආර්ථිකයන්ගෙන් එකක් නොවී සිටීමට නම් නොහැකි විය.

1975 සිට 1986 දක්වා දරදඬු කොමියුනිස්ට් පාලන තන්ත‍්‍රයක් තුළ පාලිත සංවෘත ආර්ථිකයක් යටතේ ක‍්‍රියාත්මක වූ වියට්නාමය සිය පාක්‍ෂිකයන්ට සලාක ක‍්‍රමයට රජයේ රැකියා ලබාදුන් අතර, ඔවුන්ට අවශ්‍ය වැටුප් භාණ්ඩාගාරය විසින් දැරිය යුතුවිය. දරිද්‍රතාවය සියයට 70ක් පමණ වූ අතර බොහෝ වියට්නාම වැසියන් දුගීකමින්, හාමතෙන් පෙළුණි. විරැකියාව ඉහළ අගයක් කරා ගමන් කරන විට සංවෘත ආර්ථිකය තුළ ජනතාවට දැඩි භාණ්ඩ හිඟයකට මුහුණපෑමට සිදුවූයෙන් සංවර්ධනය පෙනෙනතෙක් මානයේවත් නොතිබුණි.

එපමණක් නොව, රජය මගින් කි‍්‍රයාත්මක කළ වසර 5ක මධ්‍යම සැලැසුම ද ආර්ථිකය ගොඩනැංවීමට තරම් ප‍්‍රබල නොවුණි. 1980 වනවිට ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 200ත් 300ත් අතර ප‍්‍රමාණයක දෝලනය වෙමින් පැවතිණි. කෘෂි කර්මාන්තය අඩාල වූ අතර, ආර්ථික උද්ධමන වේගය සියයට 500ක් දක්වා ඉහළ ගියේය. රටේ පුරවැසියන් බෝට්ටු මාර්ගයෙන් අසල්වැසි රටවලට සංක‍්‍රමණය වන්නට විය.

නමුත්, ඔවුන් එතැනින් නැගී සිටියේය. 1986දී වියට්නාම පාලක කොමියුනිස්ට් පක්‍ෂය “ඩොයිමොයි නැවත නැඟී සිටීම”, සත්‍ය පිළිගැනීම සහ ඊට මුහුණදීමේ නව ආර්ථික සහ දේශපාලනික ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක් ඉදිරිපත් කළේ මෙම අභියෝග සියල්ලට මුහුණදීම උදෙසාය. එම ප‍්‍රතිසංස්කරණ සමාජවාදී නැඹුරුවක් සහිත එහෙත්, විවෘත වෙළඳපොළ රටාවක් වෙත රට මෙහෙයවීය.

අද වනවිට එහි ආර්ථික වර්ධන වේගය සියයට 6ත් 7ත් අතර ප‍්‍රමාණයක් වන අතර ඔවුන් කලාපයෙහි දෙවැනි වන්නේ චීනයට පමණි. 2010 සිට වියට්නාමය දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය වසරකට සියයට 5කට වඩා අඩු වූ නමුත්, 2017දී සියයට 6.8ක් දක්වා එය වර්ධනය විය. එවැනි වේගවත් ආර්ථික වර්ධන වේගයක් සමගින් ලෝකයේ දුප්පත්ම රටවල් අතර සිටි වියට්නාමය පහසුවෙන්ම මැදි ආදායම් ලබන රටක් බවට පත්විය. 1985දී ඒක පුද්ගල ආදායම ඩොලර් 230ක් වූ අතර 2017දී (ඩොලර් 2,343) එය දස ගුණයකින් වැඩි විය. එමෙන්ම, වියට්නාම වැසියන්ගේ මිලදීගැනීමේ හැකියාව (ක‍්‍රය ශක්තිය) අදවන විට ඇමෙරිකානු ඩොලර් 6,000කට වඩා වැඩිය.

ලෝක ආර්ථික සංසදයේ තරගකාරීත්ව දර්ශකයට අනුව, 2006දී 77වෙනි ස්ථානයේ සිටි වියට්නාමය 2017 වනවිට 55 දක්වා ඉහළට ගමන්කර ඇත. එමෙන්ම, ව්‍යාපාර පහසුකිරීමේ ශ්‍රේණිගත කිරීමට (Ease of doing Business Index) අනුව, 2007දී 104වෙනි ස්ථානයේ සිටි වියට්නාමය 2017දී 68වෙනි ස්ථානයට පැමිණ ඇත. පසුගිය වසරේදී ලෝක බැංකුව ප‍්‍රකාශ කළේ, කොන්ත‍්‍රාත් බලාත්මක කිරීම, ණය සහ විදුලිබල පහසුකම් වැඩිකිරීම, බදු ගෙවීම සහ දේශසීමා හරහා සිදුකරන වෙළඳාම ආදී සියලු පැතිකඩයන්ගෙන් වියට්නාමය සෑම අතින්ම ප‍්‍රගතියක් ලබාගෙන ඇති බවයි.

මෙම ආශ්චර්යය ඇතිවූයේ කෙසේද? ඔවුන්ගේ මෙම ආර්ථික ප‍්‍රසාරණය පිළිබඳ අදහස් දක්වන ලෝක බැංකුව සහ බෘකින්ග් බුද්ධි පර්ෂදය මෙම ආර්ථික ප‍්‍රසාරණය ප‍්‍රධාන සාධක 3ක් ඔස්සේ විස්තර කරයි. පළමුව, වෙළඳ ලිහිල්කරණය වැළඳගත් ඔවුන් දේශීය ප‍්‍රතිසංස්කරණ සමග නියාමනය කිරීමෙන් බාහිරට වෙළඳාම සම්පූර්ණයෙන් විවෘත කරමින් ව්‍යාපාර වියදම් අවම කරන ලදී. තෙවනුවට, ඔවුන් මානව සහ භෞතික ප‍්‍රාග්ධනය විෂයෙහි විශාල වශයෙන් ආයෝජනය කරන ලදි.

අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සහ වෙළඳපොළ හිතකාමී ප‍්‍රතිපත්ති සමග සන්නද්ධ වූ වියට්නාමය, අග්නිදිග ආසියාවේ විදේශ ආයෝජනය සහ නිෂ්පාදනය සඳහා කේන්ද්‍රස්ථානයක් විය. සැම්සුන්, LG, ඔලිම්පස් සහ පයනියර් වැනි ජපන් හා කොරියානු ඉලෙක්ට්‍රොනික සමාගම් සහ නොයෙකුත් යුරෝපීය සහ ඇමෙරිකානු නිෂ්පාදකයින්ට වියට්නාමය යනු වෙළඳපොළකි. 2017 වනවිට ෆයිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කළේ, කලාපයේ විශාලතම ඇඟලුම් අපනයනකරු වියට්නාමය වන අතර සිංගප්පූරුවෙන් පසු දෙවන විශාලතම ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අපනයනකරුවා වන්නේ ද වියට්නාමයයි.