දේශගුණික විපර්යාසයෙන් සිදුවන බරපතල විනාශයන් අවම කරගැනීමට ලෝකය සකී‍්‍රය ලෙස කටයුතු කරන්නේ ද?

සටහන: ආචාර්ය ඔසන්ත තල්පාවිල

පසුගිය දිනවල විදේශ පුවත් අතර බොහෝදෙනෙකුගේ අවධානයට පාත‍්‍ර වූ කාරණාවක් වූයේ යුරෝපානු රටවලින් ඉතා උණුසුම් කාලගුණ තත්ත්වයක් වාර්තා වීමයි. ජර්මනිය, බෙල්ජියම, නෙදර්ලන්තය, බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රංශය වැනි රටවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ත් 41ත් අතර ප‍්‍රමාණයක වාර්තාගත උණුසුම් කාලගුණික තත්ත්වයක් මෙම රටවලින් වාර්තා විය. ඇතැම් රටවල මෙසේ වාර්තා වී තිබුණේ වසර 170කට පමණ පසු එම රටවලින් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය ලෙසිණි.

මිනිසා විසින් ඇතිකරගන්නා යුධගැටුම් ලෝකය පුරා ව්‍යාප්තවීමත් සමගම මානව සංහතියට අතිවිශාල විනාශයක් සිදුවෙමින් පවතී. නමුත්, මෙම අභියෝගයටත් වඩා බරපතල අභියෝගයන්ට මිනිසුන්ට මුහුණපෑමට සිදුව ඇත්තේ දේශගුණික විපර්යාසයයෙනි.

නූතන විද්‍යාඥයින් විසින් පෙන්වාදෙන පරිදි, කාලගුණයේ සිදුව පවත්නා මෙම පරිවර්තනය හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළයෑම අනාගතයේදී මානව සංහතියට දරුණු පලවිපාකයන්ට මුහුණපෑමට අවශ්‍ය අවකාශය සකසනු ඇත. මීට චෝදනා ලබන්නේ ද මිනිසා වන අතර එකී චෝදනා වලින් නිදහස්වීමේ කි‍්‍රයාකාරී කාර්යය සිදුකළ යුත්තේ ද මිනිසාම වේ.

පසුගිය වසරවල ගෝලීය වශයෙන් දේශගුණ විපර්යාසයේ සිදුවූ ඉහළයාම හේතුවෙන් ස්වභාවික ව්‍යසනයන් ගණනාවකටම මුහුණපෑමට ලෝකයට සිදුවිය. යුරෝපා සහ නිවර්තන කලාපයන්ගෙන් ස්වභාවික ව්‍යසනයන් සුලබව වාර්තාවීම මේ අතර සුව්ශේෂී වේ. ලැව්ගිණි, හිමකඳු දියවීම, ගංවතුර සහ නියඟය ආදී මෙම කාලගුණ විපර්යාසයන්ට හේතු වී ඇත්තේ මිනිසා විසින් ලෝකයට මුදාහරින අපද්‍රව්‍ය ප‍්‍රමාණය ඉහළයෑමයි. ශීඝ‍්‍ර කාර්මීකරණය නිසා අසීමාන්තිකව වායුගෝලයට මුදාහරින කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ඉහළයෑම නිසා ගෝලීය ඕසෝන් ස්ථරය දරුණු ලෙස බලපෑමට ලක්ව තිබීම අධික උෂ්ණත්වයට හේතු වී ඇත. චීනය සහ ඉන්දියාවේ ඇතැම් නගරවල වායුගෝලය ඉතා දරුණු ආකාරයෙන් අපවිත‍්‍ර වී තිබෙන්නේ මිනිසාට යහපත් ජීවිතයක් ගතකිරීමට නුසුදුසු ලෙසිණි.

කාලගුණ පරිවර්තනයත් සමග ඇතිවන අනිටු ප‍්‍රථිපල ගෝලීය ජෛව විවිධත්වය බිඳවැටීමටත්, ස්වභාවික ආපදාවන් සිදුවීමත් ඒ තුළින් ගෝලීය ආහාර නිෂ්පාදනය බිඳවැටීමත් සිදුවේ. එමෙන්ම, අනාගතයේ අහාර හිඟයක් මුහුණපෑමට ද සිදුවිය හැකිය. එමෙන්ම, සංවර්ධනය වෙමින් පවතින රටවල ජනගහනයට සාගින්න, මන්දපෝෂණය වැනි ආපදාවන්ට ගොදුරුවීමේ අවකාශය ද බහුලවෙමින් පවතී. ජල සම්පත ශීඝ‍්‍ර ලෙස අහිමි වී යාම නිසා දැඩි ජල හිඟයකට මුහුණපෑමෙන් කෘෂිකාර්මික කටයුතු පමණක් නොව, මිනිසාගේ එදිනෙදා කටයුතු පවා පවත්වාගෙන යෑමේ අවකාශයන් අඩාල විය හැකිය.

පසුගිය මාසයේ ඉන්දියාවේ චෙන්නායී නුවරට ඇතිව තිබූ විශාල ජල හිඟය හේතුවෙන් බරපතල ලෙස එහි ජනතාව පීඩාවට පත්ව සිටි ආකාරය ජනමාධ්‍ය මගින් වාර්තා විය. මෙම කාලගුණික වෙනස්වීම්හී බලපෑමත් සමගම මානව සංහතිය මුහුණපාන අනෙක් බරපතල අවදානම වන්නේ බෝවන රෝගවලට ගොදුරුවීමේ අවදානම ඉහළයෑමයි. විශේෂයෙන්ම, නිවර්තන කලාපීය රටවල මෙම අවදානම ඉහළ මට්ටමක පවතින බව සඳහන් කළහැකියි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් බලයට පැමිණි පසු පැරිස් කාලගුණ ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත්වූයේ මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් කාලගුණ විපර්යාසයන්ට දැඩි බලපෑමක් සිදුනොවන බව පවසමිණි. ට‍්‍රම්ප්ගේ මෙම කි‍්‍රයාකලාපය ලෝක නායකයන්ගේ දැඩි විවේචනයට පාත‍්‍රවිය. අනෙක්පසින් අනෙකුත් යුරෝපිය රටවල් අතරින් පැරිස් ගිවිසුමකට යම්තාක් දුරකට හෝ අවනත වී ඇත්තේ ස්විස්ටර්ලන්තය පමණි. අනෙකුත් යුරෝපීය රටවල් ශීඝ‍්‍ර කාර්මීකරණයක යෙදෙනවා මිසක මානව ආරක්‍ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු නොකිරීම වර්තමාන කාලගුණ විපර්යාසයන්ට හේතුවක් බවට විචාරකයින් මත පළකරයි.

ආචාර්ය ඔසන්ත නයනප‍්‍රිය තල්පාවිල කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.