ඇමසන් වනාන්තරය ආරක්‍ෂා කරගැනීමේ කේන්ද්‍රීය වගකීම බ‍්‍රසීලය විසින් භාරගත යුත්තේ ඇයි?

සටහන: ධනංජි සමරකෝන්

ගෝලීය උෂ්ණත්වය ඉහළයාමට බලපාන ලද හේතු සහ ඊට අවශ්‍ය විසඳුම් පිළිබඳ කතිකාවතෙහි ඇමසන් වනාන්තරය යනු අතිශයින්ම කේන්ද්‍රීය කාරණයකි. වර්ග කිලෝමීටර මිලියන 7කට ආසන්න භූමි ප‍්‍රමාණයකින් යුත් එය ලොව මුළුමහත් නිවර්තන වනාන්තර අතුරින් සියයට 40ක කොටසකටත්, ගෝලීය මිරිදිය ජල සැපයුමෙන් සියයට 20ක කොටසකටත් හිමිකම් කියයි. ලොව පුරා මාධ්‍ය සිරස්තල හුවා දක්වන්නේ වන විනාශය හේතුවෙන් ඇමසන් වනාන්තරයේ ගිනිගැනීම් හටගත් බවයි. කෙසේනමුත්, ගව පාලනය, සෝයා නිෂ්පාදනය, පතල් කැණීම සහ තෝරාගත් දැව කැපීම හරහා මෙම විනාශය අද වනවිට තීව‍්‍ර වෙමින් පවතී.

විද්‍යාඥයින් විසින් අවධාරණය කරන්නේ වනාන්තරයට ආවේණික ශාක විශේෂයන් නැවත උත්පාදනය නොවන ඉතා උණුසුම් සහ වියළි පරිසර තත්ත්වයකට ඇමසන් ආසන්න වෙමින් සිටින බවයි. එහි රුක් ආවරණයෙන් සියයට 20ත් 25ත් අතර වන විනාශයක් සිදුවුවහොත්, කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීමට හැකි ඇමසන් වනාන්තරයේ ධාරිතාව බිඳවැටෙන අතර එය සිදුවුවහොත්, ලෝකයේ විශාලතම නිවර්තන වනාන්තරය එහිම විශාලතම ලඳු කැලෑව බවට පත්වෙනු ඇත. එමෙන්ම, මෙම තත්ත්වය තුළින් වනාන්තරයේ ජෛව විවිධත්වය වේගයෙන් පිරීහීමකට ලක්කරන අතර පරිසර වාෂ්පීයකරණ ක‍්‍රියාවලිය ද ගැඹුරින් ව්‍යාකූල කරනු ඇත.

කෙසේනමුත්, ඇමසන් වනාන්තරයේ ආරක්‍ෂාව සඳහා බ‍්‍රසීලයට ප‍්‍රධාන කාර්යභාරයක් පැවරී ඇත. එයට එක් හේතුවක් වන්නේ, භූගෝලීය වශයෙන් ඇමසන් වනයෙන් සියයට 60ක භූමී ප‍්‍රමාණයක් බ‍්‍රසීලයේ ද ඉතිරි කොටස බොලිවියාව, කොලොම්බියාව, ඉක්වදෝරය, ගයනා, පේරු, සුරිනාමය සහ වෙනිසුවෙලා යන රටවල් අතර ව්‍යාප්ත වී තිබීමයි.

මෑතක් වනතුරුම බ‍්‍රසීලය 2005 සිට 2012 වර්ෂය දක්වා වනාන්තර විනාශය දළ වශයෙන් සියයට 80කින් අවම කරගනිමින් වටිනා වාර්තාවක් තබා තිබුණි. එය අහම්බයෙන් සිදුවූවක් නොවන අතර, ඔවුන් ඒ වනාන්තර ආරක්‍ෂාව වෙනුවෙන් පවතින නීති බලාත්මක කිරීම, ආදිවාසීන්ගේ අයිතිවාසිකම් පිළිගත් අරක්‍ෂිත කලාප ඇතිකිරීම ආදි පියවරයන් අනුගමනය කරන ලදී. එමෙන්ම, 2006න් පසු වනාන්තර විනාශ කරමින් නිපදවන සෝයා පිළිබඳ තහනම ද තීරණාත්මක සාධයක් විය.

මීට වසර පහකට පමණ පෙර වනාන්තර විනාශය ක‍්‍රමානුකූලව ඉහළගිය හෙයින්, මෙම තත්ත්වය බ‍්‍රසීලයට අඛණ්ඩවම පවත්වාගත නොහැකි විය. කෙසේනමුත්, මෙම තත්ත්වය වෙනස්කිරීමේ ප‍්‍රබල සාධකයක් වූයේ බ‍්‍රසීලයේ ශක්තිමත්ව පැවැති පාරිසරික ආරක්‍ෂාව එරට කෘෂි ව්‍යාපාරිකයින්ගේ ලාභය අවම කිරීමටත්, ඒ තුළින් සිය ව්‍යාපාර අලාභදායී තත්ත්වයන් වෙත ගමන් කරන්නේය යන සිතිවිල්ලත්ය. ඒ අනුව, බ‍්‍රසීලයේ පැවති පාලක රජය සහ කොන්ග‍්‍රසය 2012දී නීති විරෝධී වන විනාශයට සමාවදීමත්, පරිසර ආරක්‍ෂිත ප‍්‍රදේශ සංඛ්‍යාව අඩුකිරීමත් සමග වනාන්තර විනාශය නම් වැරැද්ද සිදුකිරීමට මිනිසුන්ට යම් පෙළඹවීමක් සිදුකරන ලදී. එහි ප‍්‍රථිපලය වූයේ, 2013 සහ 2018 වර්ෂ අතර කාලය තුළ සියයට 70කට වඩා ප‍්‍රමාණයකින් ඇමසන් විනාශයට පත්වීමයි.

එමෙන්ම, 2019දී බලයට පත්වූ බ‍්‍රසීලයේ ට‍්‍රම්ප් ලෙසින් හඳුන්වන ජනාධිපති ජයිර් බොල්සෝනරෝ පාලනය යටතේ වන විනාශයේ පරිමාව ක‍්‍රමානූකූලව තව තවත් ඉදිරියටම ගමන් කරමින් සිටියි. එහෙත්, බ‍්‍රසීලයට මෙම විනාශය නතර කිරීමට තවත් කාලය තිබේ. ඒ සඳහා ඔවුන් කළයුත්තේ 2005 සහ 2012 කාලසීමාවෙහි ඔවුන් අනුගමනය කළ ශක්තිමත් පරිසර ආරක්‍ෂණ ප‍්‍රතිපත්තීන් වෙත නැවත ගමන්කිරීමයි.