ඇෆ්ගනිස්ථානයේ තලේබාන්වරු සහ ඇමෙරිකාව අතර කෙරෙන සාම සාකච්ඡා හිටිහැටියේ නතර කර දැමීමට ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් තීරණය කිරීමත් සමගින් ඇෆ්ගනිස්ථානයට කුමක් සිදුවෙයි ද?

සටහන: ආචාර්ය ඔසන්ත තල්පාවිල

ජාත්‍යන්තර දේශපාලනය නිරීක්‍ෂණය කිරීමේදී දකුණු ආසියා කලාපයේ සාමය පිළිබඳ බලාපොරොත්තු තවදුරටත් බිඳවැටෙන අවස්ථා දෙකක් පසුගිය දිනවලදී දක්නට ලැබුණි. ඉන් එකක් නම්, ජම්මු කාශ්මීර ගැටලුවයි. දෙවෙනි කාරණාව වන්නේ, ඇෆ්ගනිස්ථානයේ තලේබාන්වරු සහ ඇමෙරිකාව අතර කෙරෙන සාම සාකච්ඡා හිටිහැටියේ නතර කර දැමීමට ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ගනු ලැබූ තීරණයයි. එබැවින් ඉදිරියේදී, දෙපාර්ශ්වය අතර කටාර් රාජ්‍යයේදී එළැඹීමට නියමිතව පැවති සාම ගිවිසුම ද බිඳවැටුණි. මෙම සිදුවීම හේතුකොටගෙන ඇෆ්ගනිස්ථානයේ සාමය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය විසින් තබන ලද බලාපොරොත්තුමුළුමණින්ම ඇණහිටුණි. දශක කිහිපයක් පුරා ඇෆ්ගනිස්ථානය තුළ වර්ධනය වූ ප‍්‍රචණ්ඩත්වය ස්ථීර වශයෙන්ම නවතාලීමට මෙම සාම ගිවිසුම උපකාරී වනු ඇතැ’යි මීට පෙර ජාත්‍යන්තර විචාරකයින් විසින් මත පළකර තිබුණි.

දකුණු ආසියානු කලාපයේ රාජ්‍යයක් ලෙස ඇෆ්ගනිස්ථානය සාක් සංවිධානයේ (SAARC) පවා සාමාජිකත්වය ගනු ලැබුවේ, තලේබාන් පාලනයෙන් ඇෆ්ගනිස්ථානය නැවත මුදවා ගැනීමෙන් අනතුරුවය. ඇෆ්ගනිස්ථාන ඉතිහාසය දෙස විමසා බැලීමේදී, එහි දේශපාලනය බිඳවැටෙන්නේ 1979 සිටයි. 1979දී සෝවියට් දේශය විසින් ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමණය කළ අතර, ඉන්පසු ඔවුන්ට හිතවත් නජිබුල්ලා නම් නායකයා ප‍්‍රමුඛ කරගත් ආණ්ඩුවක් ස්ථාපිත කළහ. එහෙත් වැඩිකලක් යාමට මත්තෙන් ඇමෙරිකානු හිතවාදී මුජහිදීන්වරු මෙම නජිබුල්ලා පාලනයට විරුද්ධව විවිධ කැරලිකාර කණ්ඩායම් මෙහෙයවන්නට වූයෙන් 1979ට පෙර ඇෆ්ගනිස්ථානයේ පැවති සාමකාමීත්වය ගිලිහි යන්නට විය. සෝවියට් හිතවාදී ආණ්ඩුවට විරුද්ධව මෙහෙයවන ලද මෙම කැරලිවලින් 25,000කට ආසන්න ප‍්‍රමාණයක් මියගිය අතර, සෝවියට් හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් පලායන්නට විය. ඉන්පසු සෝවියට් හිතවාදී නජිබුල්ලා පාලනය ද බිඳවැටෙන්නට විය. 1996 වනවිට මෙම කැරලිකාරී කණ්ඩායම් අතරින් බිහිවූ තලේබාන් නම් සංවිධානය එරට උතුරු සහ මධ්‍යම ප‍්‍රදේශ හැර සමස්ත ඇෆ්ගනිස්ථානයේම පාලනය අත්පත් කරගන්නා ලදී. කන්දහාර් නගරය කේන්ද්‍ර කොටගත් තලේබාන් පාලනය දැඩි අන්තවාදී ඉස්ලාමීය පාලනයක් වූ අතර ඇෆ්ගනිස්ථානයට සාමය කරා යන ගමන තවත් පමාවිය.

එමෙන්ම, තලේබාන්වරුන්ගේ මෙම අන්තවාදී මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී පාලනයට ඇමෙරිකාව ඇතුළු ලෝක ප‍්‍රජාවගෙන් දැඩි විරෝධතා එල්ල විය. 2001 වසරේ සැප්තැම්බර් 9වෙනි දින (මීට වසර 18කට පමණ පෙර) ඇමෙරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉලක්ක කොටගත් අල්කයිඩා ප‍්‍රහාරවලින් අනතුරුව, ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ත‍්‍රස්ත පාලනය පෙරළා දැමීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදාවන් ඇෆ්ගනිස්ථානයට පිටත්කර හරින ලදී.

එහි ප‍්‍රතිපලයක් ලෙස, 2001 නොවැම්බර් මස තලේබාන් පාලනය ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කරවාලීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ හමුදාවන්ට හැකියාව ලැබිණි. එමෙන්ම, එම වසරේ ඇතිකර ගත් BONN ගිවිසුමට අනුකූලව ඇෆ්ගනිස්ථානයේ නව රජයක් පිහිටු වූ අතර, හමීඩ් කර්සායි එහි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. නැවත 2003දී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන ලද අතර, 2004 සිට එය කි‍්‍රයාත්මක කරනු ලැබීය. 2004 වනවිට නිදහස් මැතිවරණයක් පැවැත්වීමට ද පියවර ගනු ලැබිණි. ඇෆ්ගනිස්ථානයේ 1969 වසරට පසුව පවත්වන ලද නිදහස් මැතිවරණය ලෙස එම මැතිවරණය හඳුන්වාදිය හැකිය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් ඇෆ්ගනිස්ථානයේ තහවුරු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගනු ලැබුවත්, නැවත 2006 වසරේ පමණ සිට තලේබාන්වරුන්ගේ ප‍්‍රචණ්ඩකි‍්‍රයා ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා විය. ඒ හේතුවෙන් ඇමෙරිකානු හමුදාවන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කරවාගැනීම පිළිබඳව කාලවකවානුවක් තීරණය කිරීම අතිශයින් අපහසු කටයුත්තක් විය. ඇෆ්ගනිස්ථානයේ දිගින් දිගටම තලේබාන් ප‍්‍රහාර ඇතිවීමත් සමගම තලේබාන් සංවිධානය හා සාකච්ඡා සිදුකිරීමටත් රජය සමග සාම ගිවිසුමකට එළැඹීමටත් කටයුතු සූදානම් වූයේ, ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඇෆ්ගනිස්ථානයෙන් හමුදා ඉවත්කර ගැනීමේ අවශ්‍යතාවය දැනුම් දීමත් සමගිනි. සාම සාකච්ඡා සඳහා තලේබාන් නායකත්වය එකඟත්වය දක්වනු ලැබුවත්, මෑතකාලයේ කාබුල් නුවර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ගණනාවක් සිදුවීම තුළ ඇමෙරිකාව සියලු සාම කතා නවතා දැමීමට කටයුතු කළේය. ජනාධිපති ට‍්‍රම්ප් පවසා සිටියේ “සාම ගිවිසුම මියගියා,” යනුවෙනි. අනාගත ඇෆ්ගනිස්ථානයට සාමයේ මාවත වෙත අවතීර්ණ වීමට තවත් කොපමණ කලක් බලාසිටීමට සිදුවනු ඇතිද යන්න මින් අපට පැහැදිලි වෙයි.

(ආචාර්ය ඔසන්ත නයනප‍්‍රිය තල්පාවිල කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.)