සිව් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් සැලසුම යටතේ ක‍්‍රියාත්මක කෙරෙන ශ‍්‍රී ලංකාවේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ හය වැනි සමාලෝචනය පැවැත්වීම සඳහා මැනුඑලා ගොරෙති (Manuela Goretti) මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් 2019 සැප්තැම්බර් 10ත් 25ත් යන කාලය තුළදී කොළඹට පැමිණි අතර සිය සංචාරය අවසානයේ ගොරෙති මහත්මිය විසින් පහත ප‍්‍රකාශය සිදුකරන ලදී.

“විස්තීර්ණ ණය පහසුකම යටතේ ක‍්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ හය වැනි සමාලෝචනය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා බලධාරීන් අතර අවබෝධතාවන්ට එළඹිණි. මෙම සමාලෝචනය සඳහා සපුරාලිය යුතු සියලුම කාර්යයන් සහ ව්‍යුහාත්මක මිණුම් දඬු නිමකිරීමට අවශ්‍ය පියවර ඊළඟ සති කිහිපය තුළදී බලධාරීන් විසින් ගනු ඇත.

අපේ‍්‍රල් මාසයේදී සිදුවූ ඛේදනීය ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු රටේ ආරක්‍ෂක තත්ත්වය යථා තත්ත්වයට පත්කිරීමට සහ ඉන් ආර්ථිකයට ඇතිවූ කම්පනයේ බලපෑම අවම කිරීමට බලධාරීන් විසින් ගනු ලැබූ උත්සාහයන් දූත පිරිසේ පැසසුමට ලක්වේ. 2019 වසර සඳහා වූ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 2.7ක් ලෙස සංශෝධනය කර ඇති අතර සංචාරක පැමිණීම් සහ ඒ ආශ‍්‍රිත ආර්ථික කටයුතු ක‍්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වීමත් සමඟ 2020 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 3.5ක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කෙරේ. 2019ත් 2020ත් අතර කාලපරිච්ෙඡ්දය තුළදී උද්ධමනය සියයට 4.5ක පමණ ස්ථායී මට්ටමක පවතිනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මෑතකාලීනව සංචාරක පැමිණීම් සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ පේ‍්‍රෂණ අඩු වුවද, 2018 වසර අවසානයේ සිදුවූ විනිමය අනුපාතිකයේ ගැළපීම ආධාරයෙන් ආනයන පහළයාම සහ අපනයන ශක්තිමත්වීම හමුවේ 2019 වසරේදී ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 2.6ක් දක්වා පහළ යනු ඇතැයි පුරෝකථනය කෙරේ.

මන්දගාමී ගෝලීය පෙර දැක්ම සහ ශ‍්‍රී ලංකාවේ ඉහළ රාජ්‍ය ණය ප‍්‍රමාණය හමුවේ සාර්ව ආර්ථික ස්ථායීතාව පවත්වා ගැනීමට විචක්‍ෂණශීලී ප‍්‍රතිපත්ති පවත්වාගෙන යාම සහ ආයතනික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීම තීරණාත්මක වේ. 2018 වසරේදී වූ දේශපාලනික අස්ථාවරභාවය සහ පාස්කු ප‍්‍රහාරයන්හි ප‍්‍රතිඵල, රාජ්‍ය මූල්‍ය ක‍්‍රියාකාරිත්වය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් සිදුකරයි. 2018 වසරේ සිට ඉදිරියට ගෙනෙන ලද විදේශීය මූල්‍යනයන්ගෙන් යුතු ප‍්‍රාග්ධන ව්‍යාපෘති සහ හිඟ මුදල් පියවීම හේතුවෙන් වසරේ මුල් කාලය තුළදී වියදම් එක්රැස්වීම මෙන්ම ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයන්ගෙන් පසුව වක‍්‍ර ආදායම් තියුණු ලෙස පහළයාම හේතුවෙන් ජූනි අග රාජ්‍ය මූල්‍ය ඉලක්කය විශාල ප‍්‍රමාණයකින් මඟහැරිණි. පස්වෙනි සමාලෝචනයේදී එකඟතාවකට පැමිණි වැඩසටහන් ඉලක්ක තවදුරටත් ළඟාවිය නොහැකි මට්ටමක පැවතුණ ද, 2019 අයවැයේ ඉතිරිව ඇති ආදායම් සම්බන්ධ ක‍්‍රියාමාර්ග ක‍්‍රියාවට නැංවීම සහ විචක්‍ෂණශීලී වියදම් කළමනාකරණය තුළින් 2019 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 0.2ක ප‍්‍රාථමික රාජ්‍ය මූල්‍ය අතිරික්තයක් ළඟාකර ගැනීමට බලධාරීහු කැපවී සිටිති.

වැඩසටහන යටතේ අත්කර ගත් ප‍්‍රතිලාභ ආරක්‍ෂා කරගැනීමට, ඉහළ මට්ටමක පවතින රාජ්‍ය ණය පහළ දැමීමට සහ වඩාත් ඉලක්කගත සමාජ සහ ප‍්‍රාග්ධන වියදම් සඳහා ඉඩකඩ සලසාදීමට මැදිකාලීනව සහ 2020 වසරේදී ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග‍්‍රතාව ඉදිරියට ගෙනයාම සඳහා බලධාරීන් දක්වන කැපවීම දූත මණ්ඩලයේ අගය කිරීමට ලක්විය. බදු පදනම පුළුල්කිරීම සහ බදු අනුකූලතාව සහතික කිරීම තුළින් රාජ්‍ය ආදායම් වර්ධනය කිරීම සහ වියදම් කළමනාකරණයේ කාර්යක්‍ෂමතාව ශක්තිමත් කිරීමට අඛණ්ඩව පියවර ගත යුතු වේ. රාජ්‍ය ණය තිරසාර මට්ටමක පවත්වා ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක‍්‍රමවේදයන්ට අනුකූල වන පරිදි, ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් පිහිටුවීමට සහ රාජ්‍ය මූල්‍ය නීති නැවත සකස්කිරීමට බලධාරීන්ගේ මැදිකාලීන සැලසුම් ¥ත මණ්ඩලයේ ඇගයීමට ලක්විය. විදුලිබල අංශයේ පිරිවැය අකාර්යක්‍ෂමතා සහ සහනාධාර මනාව කළමනාකරණය කරගනිමින් බලශක්ති අංශයේ ප‍්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීම මෙන්ම ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍යමය ක‍්‍රියාකාරිත්වය වර්ධනය කිරීම, රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කරගැනීම සඳහා අවශ්‍ය වන වැදගත් පියවර වේ.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ විචක්‍ෂණශීලී සහ දත්ත මත පදනම් වූ මුදල් ප‍්‍රතිපත්ති ප‍්‍රවේශය සහ වැඩසටහනේ එකඟතාවන්ට අනුකූල වන පරිදි සංචිත මට්ටම් ශක්තිමත් කිරීම සඳහා වන එහි කැපවීම සඳහා දූත පිරිස සහාය දැක්වීය. දැඩි ගෝලීය මූල්‍ය තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි පීඩනය තීව‍්‍ර වුවහොත්, මහ බැංකුව, විනිමය අනුපාතිකය අඛණ්ඩව නම්‍යශීලීව පැවතීමට ඉඩදිය යුතු අතර, විදේශ විනිමය වෙළෙඳපොළ වෙත සිදුකරන මැදිහත්වීම් අධික විචලනයන් අවමකිරීම සඳහා සීමාකළ යුතුය. නව මහ බැංකු පනත, ජාත්‍යන්තරව පිළිගත් ක‍්‍රමවේදයන්ට අනුකූලව මහ බැංකුවේ අරමුණු, පාලනය, වගවීම සහ විනිවිදභාවය ශක්තිමත් කිරීම තුළින් නම්‍යශීලී උද්ධමන ඉලක්කරණයක් වෙත යොමුවීම සඳහා වන පෙරදැක්මේ වැදගත් සන්ධිස්ථානයක් වේ.

ත‍්‍රස්ත ප‍්‍රහාරයන්ගෙන් අනතුරුව සංචාරක අංශයට පහසුකම් සැලසීම සඳහා සහ ණය තත්ත්වයන් පහසු කරවීම සඳහා, ණය ආපසු ගෙවීමේදී සහන සැලසීම මෙන්ම බැංකු පොලී අනුපාතික මත උපරිම සීමා පැනවීම යනාදී තාවකාලික පියවර ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ක‍්‍රියාත්මක කර ඇත. ණය ගුණාත්මකභාවය දුර්වලවීම සහ ලාභදායීත්වය පහළයාම හමුවේ මූල්‍ය පද්ධතියට සිදුවිය හැකි අවහිරතා වැළැක්වීමට ණය තත්ත්වයන් ස්ථාවර වූ වහාම මෙම තාවකාලික පියවර ඉවත්කළ යුතුය. බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවල නියාමන සහ අධීක්‍ෂණ රාමුව ශක්තිමත් කිරීම සඳහා දරනු ලබන උත්සාහයන් දූත පිරිස විසින් අගයන ලදී. සාර්ව විචක්‍ෂණශීලී ප‍්‍රතිපත්ති රාමුව සහ ආතති පරීක්‍ෂා (Stress Testing) හැකියාවන් වැඩිදියුණු කිරීම සහ අවදානම් රාමුව ඉහළනැංවීම සඳහා වූ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සැලසුම් මූල්‍ය පද්ධති ස්ථායිතාව සඳහා දායකත්වය සපයනු ඇත. මුදල් විශුද්ධිකරණය වැළැක්වීම ශක්තිමත් කිරීම සහ ත‍්‍රස්තවාදී ක‍්‍රියා මූල්‍යනය කිරීමට එරෙහිව ක‍්‍රියාත්මකවීම සම්බන්ධයෙන් බලධාරීන් ප‍්‍රගතියක් අත්කරගෙන ඇත.

රාජ්‍ය ආදායම කෙරෙහි සිදුවිය හැකි බලපෑමට පිළියම් යොදන අතරතුර වෙළෙඳ සහ ආයෝජන යාන්ත‍්‍රණ ක‍්‍රමයෙන් ලිහිල්කිරීම තුළින් තරගකාරිත්වය සහ මැදිකාලීන වර්ධනය ඉහළ නැංවීම සඳහා ශ‍්‍රී ලාංකික බලධාරීන් විසින් අඛණ්ඩව සැලසුම් ක‍්‍රියාත්මක කිරීම දූත පිරිසේ පැසසුමට ලක්විය. විශේෂයෙන්ම, රාජ්‍ය අංශයේ ආයතන පාලනය සහ විනිවිදභාවය ඉහළ නැංවීම සහ දූෂණය අවමකිරීම මෙන්ම කාන්තාවන් ආර්ථිකමය වශයෙන් සවිබලගැන්වීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයන් ඉහළනැංවීම සහ සමාජ සුභසාධන සංක‍්‍රාම වඩාත් අවශ්‍ය වන පුද්ගලයින් වෙතම ලබාදීම කෙරෙහි ඉලක්ක කිරීම ආදිය සඳහා වන මනා කැපවීම තුළින් මෙම සැලසුම් සඳහා දායකත්වයක් සැපයිය යුතු වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස මෙම සංචාරයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, භාණ්ඩාගාර ලේකම් සමරතුංග, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති වීරසිංහ යන මහත්වරුන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් සහ පාර්ලිමේන්තු විපක්‍ෂයේ, ව්‍යාපාරික ප‍්‍රජාවේ, සිවිල් සමාජයේ සහ ජාත්‍යන්තර ආයතනයන්හි නියෝජිතයන් ද හමුවිය.”