ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් 2018 වර්ෂය සඳහා ඉදිරිපත් කළ පළාත් දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳව තබන සටහනකි

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් කරන ලද 2018 වසර සඳහා පළාත් දළ දේශීය නිෂ්පාදිත ඇස්තමේන්තුවට අනුව, බස්නාහිර පළාත රටේ ආර්ථිකයට අඛණ්ඩව ඉහළම දායකත්වය ලබාදෙන පළාත බවට පත්වී ඇති නමුත් 2017 වසරට සාපේක්‍ෂව සියයට 0.6ක (38.5 සිට 37.9ක් දක්වා) අඩුවීමක් පෙන්නුම් කරයි. දෙවෙනි සහ තෙවෙනි ඉහළම දායකත්වය පිළිවෙලින් මධ්‍යම සහ වයඹ පළාත්වලට හිමිව තිබේ.

පළාත් අනුව දළ දේශීය නිෂ්පාදිතයේ දායකත්වය

පළාත                                                   2018                     2017

බස්නාහිර                                              37.9                       38.5
මධ්‍යම                                                   11.8                        12.1
වයඹ                                                      11.0                        11.0
දකුණ                                                    10.0                        10.0
සබරගමුව                                               7.6                          7.9
ඌව                                                          5.7                          5.8
නැගෙනහිර                                            5.6                          5.6
උතුරු මැද                                               5.7                          5.7
උතුර                                                        4.1                          4.1

මූලාශ‍්‍රය: ශී‍්‍ර ලංකා මහ බැංකුව

වාර්ෂික ලක්‍ෂ්‍යමය පදනම මත පළාත් දළ දේශීය නිෂ්පාදිත දායකත්වයේ ඉහළම වර්ධනය බස්නාහිර පළාතෙන් වාර්තා වූ නමුත්, 2017 වර්ෂයට සාපේක්‍ෂව පළාත් දළ දේශීය නිෂ්පාදිත දායකත්වයේ වර්ධනයක් වාර්තා වී ඇත්තේ උතුරු මැද පළාතෙන් පමණක් වීම සුවිශේෂී වේ. 2018 වර්ෂයේදී මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල දායකත්වයේ තරමක අඩුවීමක් පෙන්නුම් කරන අතර වයඹ, දකුණ, නැගෙනහිර සහ උතුරු පළාත්වල දායකත්වයේ කිසිඳු වෙනසක් වාර්තා නොවීම ද සුවිශේෂත්වයකි.

පළාත් තුළ ආර්ථික කටයුතු

එමෙන්ම මෙහි දත්තවලට අනුව, සියයට 50කට වැඩි කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙමින් සේවා අංශය සෑම පළාතකම ප‍්‍රමුඛතම අංශය බවට පත්වී ඇති අතර, ජාතික දළ දේශීය නිෂ්පාදිතයෙහි දක්නට ලැබෙන ප‍්‍රවණතාවන්ට අනුව යමින් ප‍්‍රවාහන කටයුතු, තොග සහ සිල්ලර වෙළෙඳාම මෙන්ම වෙනත් පෞද්ගලික සේවා කටුයතු පළාත් තුළ සේවා අංශයේ වර්ධනයට ප‍්‍රධාන වශයෙන් හේතුවී තිබේ. දළ දේශීය නිෂ්පාදිතය සඳහා කර්මාන්ත කටුයතුවලින් ලැබෙන දායකත්වය සියයට 16.2ක (උතුරු මැද පළාත) සිට සියයට 32.8ක් (බස්නාහිර පළාත) දක්වා වූ අගය පරාසයක පවතින අතර, බොහෝ පළාත්වලට මේ සඳහා ප‍්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ ඉදිකිරීම් කර්මාන්තය සහ ඒ හා සැබැඳි සේවාවන්, ආහාර, බීම, දුම්කොළ නිෂ්පාදන කටුයතු, රෙදිපිළි, නිමි ඇඳුම්, සම් සහ සම් භාණ්ඩ නිෂ්පාදන කටයුතු, පතල් හා කැණීම් කර්මාන්ත යන කටයුතුය.

පළාත් අනුව ආර්ථික කටයුතුවල දායක්තවය (2018)

පළාත                       කෘෂිකර්මාන්ත           කර්මාන්ත             සේවා

මධ්‍යම                                7.9                         28.8                        55.0
නැගෙනහිර                      16.5                       17.7                        57.5
උතුරු මැද                         12.2                       16.2                        63.4
වයඹ                                  10.5                        27.2                       54.0
උතුර                                  15.5                        21.4                       54.8
සබරගමුව                           8.9                        25.3                       57.6
දකුණ                                 13.3                       16.8                        61.6
ඌව                                    13.2                        27.6                      50.9
බස්නාහිර                            2.0                        32.8                       56.9
ශී‍්‍ර ලංකාව                            7.9                         27.0                      56.8

මූලාශ‍්‍රය: ශී‍්‍ර ලංකා මහ බැංකුව

රටේ ජාතික දළ දේශීය නිෂ්පාදිතයේ ආංශික සංයුතියේ ප‍්‍රවණතාවන්ට අනුකූල වෙමින් සියලුම පළාත්වල දළ දේශීය නිෂ්පාදිතය සඳහා කෘෂිකාර්මික කටයුතු මගින් ලබාදී ඇති දායකත්වය අවම අගයක පැවති අතර, එය සියයට 2.0ත් 16.5ත් අතර පරාසයක පැවතුණි. නැගෙනහිර පළාත සියයට 16.5ක් වශයෙන් ඉහළම දායකත්වය වාර්තා කරන ලද අතර, වී වගාව, කරදිය ජලජීවී වගාව සහ කිරි, බිත්තර, මස් මෙන්ම වෙනත් සත්ත්ව නිෂ්පාදන කටයුතු මේ සඳහා ප‍්‍රධාන වශයෙන් හේතුවී ඇත.