චිත්තවේගාත්මක බුද්ධිය නායකයෙකු ලෙස වර්ධනය කළහැක්කේ කෙසේද?

සටහන: ධනංජි සමරකෝන්

කාර්යමණ්ඩලය පිළිබඳ පූර්ණ විශ්වාසයක් තබා ඇති, ඔවුන්ට සවන්දෙන, කතා කිරීමට පහසු සහ සෑමවිටම ප‍්‍රවේසම්සහගත මෙන්ම දැනුවත් තීරණ ගන්නා නායකයෙකු පිළිබඳව ඔබට සිතිය හැකිද? මෙම ලක්‍ෂණ උරුම වන්නේ, ඉහළ මට්ටමේ චිත්තවේගාත්මක බුද්ධියක් සහිත නායකයින්ට පමණි. චිත්තවේගාත්මක බුද්ධිය යනු කුමක්ද? එය වර්ධනය කරගත හැක්කේ කෙසේද? නායකයෙකු ලෙස ඔබට එම තත්ත්වය වැඩිදියුණු කරගත හැක්කේ කෙසේද? යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.

චිත්තවේගාත්මක බුද්ධිය යනු, ඔබේම හැඟීම් තේරුම් ගැනීමටත්, ඒවා කළමනාකරණය කරගැනීමටත්, ඔබ අවට සිටින පිරිසගේ හැඟීම් තේරුම් ගැනීමටත් ඔබ සතුව පවත්නා හැකියාවයි. ඒ අනුව, ඉහළ චිත්තවේගාත්මක බුද්ධියක් සහිත පුද්ගලයින් තමන්ට දැනෙන දේ, ඔවුන්ගේ හැඟීම්වල තේරුම සහ මෙම හැඟීම් අනෙක් පුද්ගලයින්ට බලපාන්නේ කෙසේද? යන්න පිළිබඳ මනා අවබෝධයක් සහිත පුද්ගලයෝ වෙති.

තමන් මානසික ආතතියකට මුහුණ දුන්විට, තම කණ්ඩායමට කෑගසන, තමන්ට තමන් පාලනය කරගත නොහැකි, එමෙන්ම මිනිසුන් ඉදිරියේ කණ්ඩායමේ සාමාජිකයින්ට අපහාස කරන, සිය ආතතියවත් පාලනය කරගත නොහැකි නායකයෙක් සාර්ථක නායකයෙක් ලෙස නිර්වචනය කළ හැකිද යන්න ගැටලුවකි.

එසේනම්, සාර්ථක නායකයෙකු වීමට අවශ්‍ය චිත්තවේගාත්මක බුද්ධිය වර්ධනය කරගැනීමට ඔබ තුළ රෝපණය කරගත යුතු ගුණාංගයන් මොනවාද? චිත්තවේගාත්මක බුද්ධිය නම් සංකල්පය ප‍්‍රචලිත කිරීමට දායක වූ ඇමෙරිකානු මනෝ විද්‍යාඥවරයෙකු වන ඩැනියෙල් ගොල්මන් එම ගුණාංගයන් ප‍්‍රධාන කරුණු පහක් යටතේ පෙළගස්වා ඇත්තේ මෙලෙසිණි.

1. ස්වයං දැනුවත්වීම
ස්වයං දැනුවත්වීම යනු ඔබගේ ශක්තීන් සහ දුර්වලතා පිළිබඳව පැහැදිලි චිත‍්‍රයක් ඔබ සතුව පැවැතීමයි. එයින් අදහස් කරනුයේ නිහතමානීව හැසිරීමට ඔබට පවතින හැකියාවයි.

නායකයෙක් ලෙස මෙම තත්ත්වය වර්ධනය කරගන්නේ කෙසේද?

ඔබේ දෛනික කටයුතු වලින් මිනිත්තු කිහිපයක් ගෙන ඔබේ සිතිවිලි ලියන්නට පුරුදු වුවහොත්, ස්වයං දැනුවත්වීම ඉහළ මට්ටමකට ගෙන යා හැකිය. එමෙන්ම, ඔබ කෝපය හෝ වෙනත් ප‍්‍රබල හැඟීම් අත්විඳින විට, තත්ත්වය කෙසේවුවත්, ඔබේ ආවේගය අඩුකොට එය සිදුවුණේ කෙසේද යන්න විමසාබැලීමට නිතරම උත්සහ කරන්න. එවිට, ඊට ප‍්‍රතිචාර දැක්වීමට අවශ්‍ය සාර්ථකම ක‍්‍රමය සොයාගැනීම ඔබට කළ හැකිවේ.

2.ස්වයං නියාමනය

අන් අයගේ මැදිහත්වීමකින් තොරව, තමන්ව නියාමනය කරගන්නා නායකයින් වාචිකව අන්‍යයන්ට පහරදීම, ක්‍ෂණිකව හෝ ආවේගශීලී තීරණගැනීම යනාදිය සිදුනොකරයි. එමෙන්ම, පුද්ගලයන් හෝ ඔවුන්ගේ පැවැත්ම පාවාදීමක් නොකර ස්වයං පාලනයෙන් යුක්ත වූවෝ වෙති. ගොල්මන්ට අනුව, චිත්තවේගීය බුද්ධියේ මෙම අංගය නායකයෙකුගේ නම්‍යශීලීභාවය සහ පුද්ගලික වගවීම සඳහා වූ කැපවීම අවධාරණය කරයි.

ස්වයං නියාමනය කිරීමේ හැකියාව වැඩිදියුණු කරන්නේ කෙසේද?

පළමුව, ඔබ ඔබටම කියා ප‍්‍රතිපත්තියක් සකසාගන්න. ඔබට සතුරන් සිටියි නම්, ඔවුන්ට ද ප‍්‍රතිපත්තියක් ඔබ සතුව තිබිය යුතුය. යම්දෙයක් වැරැදී ගියවිට, ඔබ අනුන්ට දොස් පැවරීමට පෙළඹෙන්නේ නම්, එය වහාම නතර කරන්න. ඔබගේ වැරැදි නිහතමානීව පිළිගැනීමටත්, එහි ප‍්‍රතිවිපාක වලට මුහුණදීමටත් ඔබ කැපවී සිටිය යුතුයි.

ඔබ සිටින්නේ අභියෝගාත්මක තත්ත්වයක නම්, ඔබ කි‍්‍රයාකරන ආකාරය පිළිබඳව වෙනදාටත් වඩා සැලකිලිමත් විය යුතුය. සන්සුන්ව කලබලකාරී නොවී හොඳින් හුස්මක්ගෙන එවැනි අවස්ථාවන් වලට මුහුණදීමට පුරුදුවිය යුතුයි.

එමෙන්ම, ඔබට පැවැසීමට අවශ්‍ය සියලු නිෂේධාත්මක කාරණා කොළයක් ගෙන ලියන්නට පුරුදුවෙන්න. එය ඉරා දමා විසිකරන්න. ඔබේ ප‍්‍රතික‍්‍රියාවේ සාධාරණ බව සහතික කිරීමට හෝ ඊට අභියෝග කිරීමට මෙය ඔබට බෙහෙවින් උපකාරී වේ.

3. අභිපේ‍්‍රරණය

අභිපේ‍්‍රරිත නායකයින් කුමන ගැටලුවලට මුහුණ දුන්න ද ඔවුහු සියල්ල සුබවාදීව දකිති. මෙම මානසිකත්වය අනුගමනය කිරීම ප‍්‍රායෝගිකව තරමක් අපහසු නමුත්, ඊට උත්සහ කිරීම සහ ඊට පෙළඹීම අතිශයින්ම වැදගත්ය.

ඔබ අභියෝගයකට හෝ අසාර්ථකත්වයකට මුහුණදෙන සෑම අවස්ථාවකම අවම වශයෙන් එක් හොඳ කාරණයක් හෝ සොයාගැනීමට උත්සාහ කළ යුතුය. එය දිගුකාලීනව බලපෑම් කළහැකි වැදගත් පාඩමක් විය හැකිය. නමුත්, ඔබ එය සොයන්නේ නම්, සෑමවිටම පාහේ සියල්ල තුළ ධනාත්මක තත්ත්වයක් ඔබට සොයාගත හැකිය.

4. සංවේදනය

සාර්ථක කණ්ඩායමක් හෝ සංවිධානයක් කළමනාකරණය කිරීම සඳහා සංවේදනය යන්න නායකයෙකු තුළ තිබිය යුතු අතිශය වැදගත් කාරුණකි. සංවේදනය සහිත නායකයින්ට වෙනත් පුද්ගලයෙකුගේ තත්ත්වයට පත්වීමේ හැකියාව ඇත. ඔවුන් තම කණ්ඩායමේ සිටින පුද්ගලයින් දියුණු කිරීමට, අසාධාරණ ලෙස ක‍්‍රියා කරන්නන්ට අභියෝග කිරීමට සහ පුද්ගලයින්ට ඵලදායි ප‍්‍රතිපෝෂණ ලබාදීමට මෙන්ම, සියලුදෙනාටම සාවධානව සවන් දියහැකි පුද්ගලයෙක් ද වේ.

ඔබේ සංවේදනය වැඩිදියුණු කරන්නේ කෙසේද?

පළමුව, ඔබ අදාල කණ්ඩායමේ සාමාජිකයෙක් නම්, ඔබ ඒ සඳහා සිදුකරන්නේ කුමක්ද? යන්න හඳුනාගත යුතුය. ඔබේ දෘෂ්ටිකෝණයෙන් පමණක් නොව, ඔවුන්ගේ දෘෂ්ටිකෝණයෙන් ද සිතාබලා තීරණ ගැනීමට පුරුදුවිය යුතුය. උදාහරණයක් ලෙස, ඔබ ඔබේ දෘෂ්ටිකෝණයෙන් බලා 6 ලෙස සඳහන් කරනවිට, ඔබේ අනෙක්පසින් සිටින්නා එය 9 ලෙස සඳහන් කළහොත්, ඔබ මෙන්ම ඔහු ද නිවැරැදි බව පිළිගන්නට සිදුවේ. එබැවින් සියල්ල පිළිබඳ සිතා සියල්ලටම සාධාරණ ප‍්‍රතිපත්තියක් සකසන්නට නම්, ඔබ සංවේදනය ප‍්‍රගුණ කළ පුද්ගලයෙක් විය යුතුය.

ඔවුන් වෙත සංවේදනය වීමේදී, ඔබේ ශරීර භාෂාව ද ප‍්‍රබල උපකරණයක් වන බැවින්, එය හසුරුවාගැනීමට මෙන්ම එය තේරුම්ගැනීමට හැකිවීම අතිශයින්ම අවශ්‍ය වන්නකි.

5. සමාජ කුසලතා

චිත්තවේගාත්මක බුද්ධියේ සමාජ කුසලතා අංගය මැනවින් සිදුකරන නායකයින් විශිෂ්ට සන්නිවේදකයෝ වෙති. ඔවුන් නරක ආරංචියක් සුබාරංචියක් ලෙස ඇසීමට විවෘතව සිටින අතර, ඔවුන් තම කණ්ඩායමට සහයවීමට සහ නව මෙහෙවරක් හෝ ව්‍යාපෘතීන් පිළිබඳව උද්යෝගයෙන් සිටින විශේෂඥයෝ වෙති. එමෙන්ම, ඔවුන් තමන්ගේම හැසිරීමෙන් අන් අයට ආදර්ශයක් තබයි.