ඉන්දියානු ආගමික බල කණ්ඩායම් එරට දේශපාලනයට සෟජුවම බලපාන්නේ කෙසේද? අයෝධ්‍යාවේ නඩු තීන්දුව ඇසුරෙන්

සටහන: ආචාර්ය ඔසන්ත තල්පාවිල

දකුණු ආසියානු දේශපාලනය තුළ දැකගත හැකිවන එක් සුවිශේෂී ලක්‍ෂණයක් නම්, ආගමික බල කණ්ඩායම් දේශපාලනයට විවිධ හේතු මත මැදිහත්වීමයි. ඒ අනුව සිය ආගමික අනන්‍යතාවය ආරක්‍ෂා කරගැනීම උදෙසා පවතින දේශපාලන බල කණ්ඩායම් වලට බලපෑම් කිරීම පසුගිය දශක කිහිපය තුළ වාර්තා විය. ඒ අතර හින්දු අන්තවාදී ආගමික බලවේග සිය අරමුණු ඉටුකරවා ගැනීම උදෙසා දේශපාලන ප‍්‍රවාහයක් ලෙස ඉන්දියාව තුළ කි‍්‍රයාත්මක වන්නේ කෙස්ද යන්න අයෝධ්‍යාවේ නඩු තීන්දුව ඇසුරින් පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණයි.

1990 දශකය තුළ හින්දු ආගමික බලවේග කි‍්‍රයාත්මක වීමේ අරමුණ වූයේ, ඉන්දියාවේ මුස්ලිම්වරුන්ට විරුද්ධව පෙළගැසීම වන අතර ඒ සඳහා බලපෑ මූලික නිමිත්තක් වූයේ අයෝධ්‍යාව මුල්කරගත් ‘බාබ්රි මස්ජිඩ්’ නම්  ඉස්ලාමීය දේවස්ථානයයි. බාබ්රි මස්ජිඩ් යනු 11වෙනි ශතවර්ෂයේ ඉදිකරන ලද අයෝධ්‍යා නගරයේ පිහිටි මුස්ලිම් දේවස්ථානයක් වන අතර 1992දී, හින්දු අන්තවාදීන් විසින් එය විනාශ කරන ලදී.

කෙසේනමුත්, මෙම මාසයේ මුල ඉන්දීය ශ්‍රේෂ්ටාධීකරණය විසින් අයෝධ්‍යාවේ බාබ්රි මස්ජිඩ් දේවස්ථානය හා බැඳුණු ඓතිහාසික අධිකරණ තීන්දුවක් ලබාදෙන ලද අතර එය සමස්ථ දකුණු ආසියාවේම අවධානයට පාත‍්‍ර වූ නඩු තීන්දුවක් වීම සුවිශේෂී වේ. එනම්, එම අධිකරණ තීන්දුවෙන් ප‍්‍රකාශයට පත්වූයේ, අයෝධ්‍යාව හින්දු පුදබිමක් ලෙස පිළිගන්නා බවත් ඉස්ලාමීය පුදබිමක් ලෙස පිළිනොගන්නා බවත්ය.

මෙවැනි අධිකරණ තීන්දුවක් සඳහා ශ්‍රේෂ්ටාධිකරණය විසින් මුලපිරුවේ මීට දශක තුනකට පෙර වන අතර ඒ සඳහා බලපාන ලද හේතුකාරණා අතරින් ප‍්‍රමුඛ කාරණයක් මතුකර කර දැක්විය හැකියි. එනම් 1992දී, ඉන්දියාවේ දකුණු කෙළවරේ සිට උතුරේ පිහිටි අයෝධ්‍යා නගරයට අතිවිශාල හින්දු ආගමිකයන්ගෙන් යුත් පාද යාත‍්‍රාවක් ගමන්කළ අතර එම පාද යාත‍්‍රාවේ අරමුණ වූයේ, එවකට අයෝධ්‍යාවේ ඉදිවී පැවති බාබ්රි මස්ජිඞ් දේවස්ථානයට විරෝධය එල්ල කිරීමයි. මෙම පාද යාත‍්‍රාවට සම්බන්ධ වූ සංවිධානවල මතය වූයේ, අයෝධ්‍යාව යනු හින්දු ආගමිකයන්ගේ ගෞරවාදරයට පත් රාම කුමාරයාගේ නිජබිම බවයි.

එමෙන්ම, රාම කුමාරයාගේ උත්පත්තිය සනිටුහන් කරමින් එහි ඓතිහාසික දෙවොලක් ඉදිකර තිබුණු බව ඉන්දීය පුරාවෘත්තවල සටහන් වී ඇත. එහෙත්, 11වෙනි ශතවර්ෂයේ උතුරු ඉන්දියාවේ සිදුවූ මුස්ලිම් ආක‍්‍රමණත් සමගින් එම හින්දු කෝවිල මුළුමණින්ම විනාශකොට, එම ස්ථානයේ මතභේදයට තුඩුදුන් බාබ්රි මස්ජිඩ් නම් ඉස්ලාම් දේවස්ථානය විනාශ කර ඇති අතර අයෝධ්‍යාව යනු හින්දු ආගමික පුදබිමක් බව ඔවුහු තරයේ ප‍්‍රකාශ කළෝය. එවකට අන්තවාදී හින්දු සංවිධාන බවට හැඳින්වූ සිව්සේනා සංවිධානය මෙන්ම ලෝක හින්දු පර්ෂදය (විශිෂ්ට හින්දු පර්ෂද්) මෙම අයෝධ්‍යා සටනට අවශ්‍ය පදනම සහ දිරිය සපයා දී ඇත.

එවකට අයෝධ්‍යාව මුල්කරගත් මෙම හින්දුවාදීන්ගේ උද්ඝෝෂණ ඉන්දීය දේශපාලනයට විශාල බලපෑමක් සිදුකළේය. මෙම අයෝධ්‍යා විරෝධතාවයන් මූල්කරගෙන ඉන්දියාව පුරා හින්දු ජාතිකවාදී ව්‍යාපාරයක පිබිදීමක් වහා දක්නට ලැබුණි. සැබවින්ම, වර්තමාන ඉන්දියාවේ පාලන පක්‍ෂය බවට පත්වී තිබෙන භාරතීය ජනතා පක්‍ෂයේ ඇරඹුම සහ ව්‍යාප්තිය ද මෙම හින්දු ජාතිකවාදී ව්‍යාපාරය හේතුවෙන් සිදුවූ බව සඳහන් කළහැකියි.

අයෝධ්‍යා ගැටලුව මුල් කරගනිමින් හින්දු දේශපාලනය තුළ ද නව ප‍්‍රවනතාවක් ඇතිවූයේ හින්දු ආගමික සහ ජාතික අනන්‍යතාවය මුල්කරගත් දේශපාලන ප‍්‍රවාහයක අවශ්‍යතාවය මතුවීමත් සමගයි. එමෙන්ම, භාරතීය ජනතා පක්‍ෂයේ පිබිදීම සිදුවූයේ අයෝධ්‍යා ප‍්‍රශ්නය මුල්කරගෙන යැයි කීම අතිශයෝක්තියක් නොවේ. සාම්ප‍්‍රදායයික ඉන්දීය කොන්ග‍්‍රස් පක්‍ෂය පරාජය කොට භාරතීය ජනතා පක්‍ෂ රජයක් මුල්වරට 1990 දශකයේ බිහිවන්නේම අයෝධ්‍යාව මුල්කරගත් හින්දු ජාතිකවාදී පන්නරයේ ප‍්‍රතිපලයක් ලෙසිණි. එය ආගම සහ දේශපාලනය අතර සමීප සබඳතාවය තහවුරු කළ අතර ඉන්දියාව හින්දු රාජ්‍යයක් බවට ප‍්‍රකාශ කරලීමට අවශ්‍ය අවකාශය සකසන ලදී.

ඉන්දීය ශ්‍රේෂ්ටාධීකරණය ලබාදුන් මෙම තීන්දුවත් සමග හින්දු දේශපාලනයේ දීර්ඝ කාලයක් පුරා කැකෑරෙමින් තිබූ අර්බුදයක් සමනයට පත්විය. අගමැති නරේන්ද්‍ර මෝදී මහතා තීන්දුවෙන් පසුව ප‍්‍රකාශ කර සිටියේ, මෙය කුමණ කණ්ඩායමකගේ වත් ජයග‍්‍රහණයක් නොවන බවයි.

ආචාර්ය ඔසන්ත නයනප‍්‍රිය තල්පාවිල කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.