අධ්‍යාපනයේ අනෙකුත් ඉසව් ජයගන්නට සෞන්දර්යය විෂයයන් තුළින් දරුවන්ගේ කලා හැකියාවන් අවදි කළ යුතුය. සාශ්‍යා රොද්‍රිගු ගෙනෙන විවරණය.

සෞන්දර්ය‍ය කලාවන් අවිවාදයෙන්ම අධ්‍යාපනයේ අඩු අවධානයට ලක්වූ විෂයයන් ය. සෞන්දර්ය‍ය කලාවන් පිළිබඳව මෙලෙස වැරැදි අර්ථයක් මවාගෙන ඇත්තේ මෙම විෂයයන් කාලය කා දමන සේම ගණිතය, විද්‍යාව වැනි ප‍්‍රධාන විෂයයන්ගෙන් මනස වෙනතකට රැගෙන යන්නක් ලෙසයි. සෞන්දර්ය‍ය විෂයයන්ගෙන් වන යහපත් තත්ත්වයක් ලෙසට බොහෝදෙනා දකිනුයේ, ඉන් මනසට නිදහසක් හෝ විවේකයක් ලැබීම පමණි.

බොහෝදෙනා කලා විෂයයන් පිළිබඳව දරන මෙම මතවාදයන් සත්‍ය විය හැකිය. මන්ද එලෙස සිතන්නෝ, එම විෂයයන් සහ විෂය බාහිර කි‍්‍රයාකාරකම් විවේකය ගෙනදෙනවාට වඩා වැඩි කාර්යයක් සිදුකරන බව නොදන්නෝ වියහැකි බැවිණි.

තවමත්, ලෝකයේ බොහෝ රටවල් තුළ කලාව යනු ‘කාලය කා දමන විෂයයන්’ යැයි විශ්වාස කරන අතර එක්සත් ජනපදය මේ පිළිබඳව වන පර්යේෂණ සඳහා වැඩි අවකාශයක් සලසා දී ඇත. පෙර පැවැති STEM (Science, Technology, Engineering and Maths) නම් වූ අධ්‍යාපනය පසුව, STEAM (Science, Technology, Engineering, Art and Maths) බවට වර්ධනය වූයේ කලාව ද ඇතුලත් වෙමිනි.

මෑතකාලීන පර්යේෂණ මගින් කලාව යන්න අධ්‍යාපන විෂය නිර්දේශයන්ට ඇතුලත් කළයුතු බව සම්පූර්ණයෙන්ම පිළිගන්නා අතර මෙහි සිත්ගන්නා සුළු තත්ත්වය වන්නේ කලාව යහපත් අධ්‍යාපනයකට අත්‍යාවශ්‍ය වන අමුද්‍රව්‍යයක් බව අතීතයේ සිටම දන්නා කරුණක් වීමයි. එනම් ලියනාඩෝ ඩාවින්චි යනු STEAM පදනම් අධ්‍යාපනයේ පුරෝගාමියෙකි. ඉතාලි පුනරුද සමයේ, ඔහුගේ චිත‍්‍ර හා මූර්ති තුළින් ඔහු ප‍්‍රසිද්ධත්වයට පත්වූවා පමණක් නොව, දක්ෂ ඉංජිනේරුවරයෙක් මෙන්ම විද්‍යාවට ද යමක් එක්කළ නව නිපැයුම්කරුවෙක් ද වේ. එබැවින් ඔහු සියලු විෂයයන් තුළ කැපී පෙනෙන චරිතයක් මෙන්ම STEAM පදනම් අධ්‍යාපන සංකල්පය ඈත අතීතයේ සිටම පැවැති බව තහවුරු කළහැකි සාධකයක් ද වේ.

2013දී ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත දක්වන පරිදි හිසෙහි දකුණු කොටසෙහි කි‍්‍රයාකාරිත්වය වැඩි පිරිසක් සමාජය තුළ බිහිවීම STEAM අධ්‍යාපනයෙන් ලැබෙන වඩාත්ම වැදගත් ප‍්‍රතිලාභයයි. සුප‍්‍රසිද්ධ කතෘවරියක් වන ලීසා පිලිප්ස් පවසනුයේ, තුලණාත්මක අධ්‍යාපනයකට කලාව යන්න එක්කළ විට ඉන් පුද්ගලයෙකුගේ හැකියාවන් ශක්තීන් අවදිවීමක් සිදුවන බවයි. නිර්මාණශීලිත්වය, ප‍්‍රශ්න විසඳාගැනීමට පුරුදුවීම, විශ්වාසය, ධෛර්ය, අවධානය, නිර්වාචික සන්නිවේදනය, විචාරශීලිත්වය වර්ධනය කිරීම, සහයෝගය, කැපවීම සහ වගකීම යන්න ඉන් කිහිපයකි. මෙම මතවාදය හා එකඟවන, අධ්‍යාපනය පිළිබඳව ලියන, බ්ලොග් ලිපිකාරිණියක් වන ෆ‍්‍රෑන් ස්මිත් සිය ලිපි මගින් කලාව මගින් ගණිතමය හැකියාව, කියවීමේ හැකියාව, ප‍්‍රජානන හැකියාව, තාර්කිකව සිතීමේ හැකියාව හා වාචික හැකියාව ආදි හැකියාවන් ප‍්‍රවර්ධනය කරන්නේ කෙසේද යන්න පැහැදිලි කර ඇත.

සාමාන්‍යයෙන්, ඉහළ පැලැන්තියේ සිසුන්ට ප‍්‍රවේශතා බහුල සහ විනෝදය ගෙනදෙන අංශයක් ලෙස කලාව හඳුන්වන නමුත් අඩු ආදායම්ලාභි පවුල්වල ළමුන්ට කලාව හැදෑරීමට නැතහොත් කලාව වෙත ප‍්‍රවේශවීමට ඉඩකඩ විවරවන්නේ බොහෝවිට පාසල් පරිසරයේදී පමණි. එනමුත්, සෞන්දර්ය‍ය කලාවන් යනු එකිනෙකට වෙනස් සමාජ හා ආර්ථික පන්තීන් අතර පවතින පරතරය වසා දැමීමේ පාලමක් ලෙස භාවිතා කළ හැකිය. පලදායි අධ්‍යාපනය සඳහා වන ජාතික නාගරික සන්ධානයේ නිර්මාතෘ සහ එහි සභාපතීත්වය දරන එරික් කූපර් මෙම පාලමෙහි ඇති වැදගත්කම ඉස්මතු කරමින් ප‍්‍රකාශ කරනුයේ ධනවත් දරුවන් හා මූල්‍යමය අභියෝගයන්ට මුහුණ පා සිටින දරුවන් අතර සමතලා බිමක් නිර්මාණය කරන්නට කලාවට හැකියාව පවතින බවයි.

තවද මූර්ති ශිල්පිණියක් වන මැග්ඩලේනා ඇබකොනොවිච් කලාවෙහි වැදගත්කම විවරණය කරනුයේ “කලාව ගැටළු විසඳීම නොකරන නමුත් ඔවුන්ගේ පැවැත්ම පිළිබඳව අපිව දැනුවත් කරයි” යනුවෙනි. එබැවින් නිර්මාණාත්මක, තර්කානුකූලව සිතන සහ විශ්වාසදායි අනාගත පරපුරක් නිර්මාණය කිරීමට නම් සෑම පන්ති කාමරයකම සිටින දරුවන්ගේ කලා හැකියාවන් අවදි කළ යුතුය. මන්ද එම හැකියාවන්ගේ අවදිවීම අධ්‍යාපනයේ අනෙකුත් ඉසව් තරණය කරන්නට ආධාරකයක් වන බැවිණි.

පරිවර්තනය: ධනංජි සමරකෝන්