ශීෂ්ට සමාජයක් ශාස්තී‍්‍රය අධ්‍යාපනයෙන් පමණක් තැනිය හැකි ද? අයේෂා රේසා රෆීක් ප‍්‍රශ්න කරයි

අධ්‍යාපන ජයග‍්‍රහණයන් පසුපසම හඹා නොයන එහෙත්, ශිෂ්ටසම්පන්න හැසිරීම් රටාවකින් යුත් දරු පිරිසක් බිහිකරගැනිමේ අරමුණෙන් ජපන් දරුවන්ට වයස අවුරුදු 10 සම්පූර්ණ වන තෙක් විභාග පරීක්‍ෂණයන්ට යොමු නොකරන බව මෑතකදී පළවු අන්තර්ජාල ලිපියක සඳහන් කර තිබුණි. එනම් වයස අවුරුදු 10 සම්පූර්ණ වනතෙක් ජපන් දරුවන්ට පුරුදුපුහුණු කරනුයේ ශිෂ්ටසම්පන්න ජීවිතයකට අවශ්‍ය හැසිරීම් සහ කුසලතාවයන්ය.

එමෙන්ම, නිදහසේ ජිවත්වීමට, නිදහසේ සිතීමට, ප‍්‍රශ්නකිරීමට සහ නිර්මාණශීලි අදහස්වලින් සමන්විත පුද්ගලයෙක් බවට පත්කරගැනීමේ අරමුණ මුදුන්පමුණුවා ගතහැකි මූලිකම අවදිය ලෙස ස්කැන්ඩිනේවියානු රටවල් විශ්වාස තබනුයේ, පෙර පාසල් අවදියට පෙර අවදියයි. ආසියානු සහ බටහිර රටවල දරුවන් පෙර පාසල් අවදිය වෙත ප‍්‍රවේශ වී බොහෝ කලක් ගෙවීගිය පසුව ස්කැන්ඩිනේවියානු රටවල දරුවන්ගේ පෙර පාසල් අවදිය ආරම්භ වන අතර ඉහත කුසලතා දරුවෙක් තුළින් පුබුදුවා ගැනීමට හැකි ඉගෙනුම් කි‍්‍රයාවලියකට ප‍්‍රමුඛත්වය ලබාදෙයි. දවසෙන් වැඩි කාලයක් එළිමහනේ සහ සංවේදක කටයුතුවල නිරතවෙමින් කල්ගෙවන්නට දරුවන්ට අවකාශය සකස්කරදීම මෙම ඉගෙනුම් කි‍්‍රයාවලියේ දැකගතහැකි සුවිශේෂී ලක්ෂණය වන අතර මැදි පාසල් විය තෙක්ම ජීවන කුසලතා පුරුදුපුහුණු කෙරෙන අධ්‍යාපනයක් ලබාදෙයි.

නමුත්, ලෝකයේ අනෙකුත් රටවල් යහපත් දිවියකට අවැසි ජීවන කුසලතාවයන් පුරුදුපුහුණු කිරීමට අඩු අවධානයක් යොමුකෙරන අධ්‍යාපන රටාවක් අනුගමනය කරන අතර ශාස්තී‍්‍රය අධ්‍යාපනයට එහි වැඩි නැඹුරුවක් වේ. කෙසේනමුත්, ජීවිතයේ මූලික කාර්යයන් වත් නිසිලෙස ඉටුකරගන්නට අසමත් මෙම රටවල විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මෙන්ම රැකියා ප‍්‍රධානීන්ගෙන් පවා දිස්වන්නේ ජිවන කුසලතා පුරුදුපුහුණු කිරීමට අඩු අවධානයක් දෙන අධ්‍යාපන ක‍්‍රමයක පවත්නා දුර්වලතාවයයි.

සුප‍්‍රසිද්ධ ලේඛකයෙක් වන ලින්ඞ්සේ හට්න් පවසන පරිදි, ජීවන කුසලතා සහිත ඵලදායී අවබෝධය දරුවන් සවිබල ගැන්වීමට, ආත්ම විශ්වාසය වර්ධනය කරවීමට, සමාජානුයෝජනයක් ඇතිකිරීමට සහ තර්කානූකූල හැකියා වර්ධනය කිරීමට බෙහෙවින්ම උපකාරි වන බවයි. එහෙත්, අප වැනි රටවල දරුවන්ගේ සංවර්ධනය නොවූ පැතිකඩ වන්නේ මෙයයි. එබැවින් නිවසේ සිටම ඒ ඒ පාසල් අවදීන්වලට සුදුසු කාර්යයන් සිදුකිරීමට ඉඩ ලබාදෙමින්, නිදහස් ගමන් මාවතක දරුවන් රැගෙනයමින් ඔවුන්ට අවශ්‍ය ජීවන කුසලතාවයන් හා හැසිරීම් රටාවන් ඉගැන්වීමට අවකාශයක් සැකසිය යුතුය.

ප‍්‍රාථමික අධ්‍යාපනය වෙත ප‍්‍රවේශ වන දරුවන්ට පෞද්ගලික ආරක්‍ෂාව සලසාගන්නේ කෙසේද? යන්න පළමුව ඉගැන්විය යුතුය. එනම් ඔවුන්ගේ නම, ලිපිනය සහ දුරකථන අංකය මෙන්ම තම නිවසට දුරකථන ඇමතුමක් ලබාදෙන්නේ කෙසේද ආදි කාරණා එම ඉගැන්වීම් තුළ අන්තර්ගත විය යුතුය.

වයස අවුරුදු 5 සම්පූර්ණ වනවිට යම් අධීක්‍ෂණයක් යටතේ දරුවෙකුට දත් මැදගැනීමට, ස්නානයකිරීමට, ඇඳුම් ඇඳගැනීමට හා සනීපාරක්‍ෂක කටයුතු ආදිය තනිව සිදුකරගැනීමට අවකාශය ලබාදිය යුතුය. පවුලේ සුරතලෙක් වේ නම්, ඔවුන්ව රැක බලාගැනීමට හුරුකළ යුතුය. එය ආදරය, දයාව, කරුණාව වැනි සමාජ ශිෂ්ටත්ව මූලයන් ළමා සිත්වල තැන්පත් කරවීමට සමත් වේ.

මැදි පාසල් අවදිය වෙන්විය යුත්තේ දරුවන්ගේ ශිෂ්ට හැසීරීම් හා ජීවිතය කළමනාකරණය කරගන්නේ කොහොමද? යන කරුණු සංතෘප්ත කරවීම වෙනුවෙනි. නමුත් හට්න් පවසන පරිදි, බොහෝ මැදි පාසල් මෙය නොසළකා හැර ඇත. ආචාරශීලීව හා විශ්වාසයෙන් යුතුව ජනතාව අතර සංවාදයක් පවත්වාගෙන යාම, තමන්ට වඩා වැඩිමහල් පුද්ගලයන් සමග හා අවහන්හලක මිතුරන් සමග මෙන්ම නිවසේ පවා හැසිරෙන්නේ කොහොමද? යන ශිෂ්ට සමාජයකට අවශ්‍ය දේ ඉගැන්විය යුතුය. එනම්, පුද්ගලයෙක් හා සංවාදයක නිරත වනවිට ඔහුගේ ඇස් දෙස බලා කතාකිරීමත්, ඉතා විනීත ලෙස පිළිතුරුදීමත්, අවස්ථාවට අනුකූලව කතාකිරීමත් යන කාරණා මෙම අවදිය තුළ දරුවෙකුට ඉගැන්විය යුතුම ශිෂ්ට හැසිරීම් කිහිපයකි.

එමෙන්ම, මුදල් කළමනාකරණයේ පවතින අපහසුතාවය පෙන්වාදීමට මෙම කාලය හොඳම කාලය වේ. පොකට් මනි ලබාදී එය වියදම් කරන්නේ කොහොමද? ඉතිරි කරන්නේ කොහොමද? යන්න ඉගැන්විය යුතුය. ඉතිරිකිරීමට උනන්දුකරමින්, අවශ්‍ය දේ මිලදී ගැනීමටත්, ඔවුන්ගේ අරමුණු ඉවසීමෙන් සාක්‍ෂාත් කරගන්නේ කොහොමද? යන මානසිකත්වය ගොඩනැගීමටත් මෙය පිටිවහලක් වනු ඇත.

උසස් අධ්‍යාපන අවදිය යනු වගකීම් දැරීමට, කැපකිරීම් කිරීමට ඉලක්කයන් සපුරාගැනීමට හා අන්තර්ජාලය, සමාජ මාධ්‍යයන් වගකීමෙන් භාවිතකිරීමට ඉගැන්විය යුතු කාලයයි. බැංකු ගිණුමක් ආරම්භ කර මුදල් කළමනාකරණය කිරීමේ හැකියාව වැඩිදියුණු කළයුතු අතර දෙමාපියන් සිය එදිනෙදා ජීවිතයේ ඔවුනට අවශ්‍ය සාධාරණ යැයි සිතිය හැකි මූල්‍යමය අවශ්‍යතා සඳහා දරුවන්ට මුදල් ලබාදිය යුතුය. දුරකථන බිලක් ගෙවීමට, සිනමා ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගැනීමට ආදි සාධාරණ කාරණා ඒ අතර වේ.

මෙය නව යොවුන්වියේ සිටින දරුවන්ට යහපත් දේවලට වියදම් කිරීමට පුරුදු කරවීමටත්, මුදල් උපයාගැනීමට මහන්සි වී වැඩ කළයුතු බව  අවබෝධ කරගැනීමටත්, උපයන දෙය සහ වියදම අතර සමතුලිතතාවයක් පවත්වාගැනීමටත් උපකාරි වනු ඇත.

මේ අතරතුර කාලයේදි, කාල කළමනාකරණය සහ ඉලක්ක සපුරාගැනීිම දරුවන් පුරුදුපුහුණු වියයුතු ඉතා වැදගත් ජීවන කුසලතාවයන් දෙකකි. නව යොවුන්වියේ පසුවන ඕනෑම අයෙකුට පාසැල් පැවරුම් යනු විෂය බාහිර කි‍්‍රයාකාරකම්වලට සහ කෙනෙකුගේ සමාජ ජීවිතයට අභියෝගයකි. එබැවින් ව්‍යාපෘති, පැවරුම් ආදිය සඳහා කාලසීමාවක් නියම කරගැනීම, කාලසටහනක් සකස්කරගැනීම දවස පලදායී කරගැනීමට වටිනා පිළියම් වේ.

පරිවර්තනය: ධනංජි සමරකෝන්