2017 ලොව හොඳම අධ්‍යාපන ක‍්‍රමය බවට පත් ෆින්ලන්ත අධ්‍යාපන ක‍්‍රමයේ සුවිශේෂත්වය ලුහුඬින් දැනගමු

සටහන: ධනංජි සමරකෝන්

ස්කැන්ඩිනේවියන් රටක් වන ෆින්ලන්තය උතුරු යුරෝපයේ පිහිටි රාජ්‍යයකි. බටහිරින් ස්විඩනයටද, උතුරින් නෝර්වේ රාජ්‍යයටද, නැගෙනහිරින් රුසියාවටද, දකුණින් එස්තෝනියාවටද මායිම්ව ඇති ෆින්ලන්තයේ අගනුවර හෙල්සින්කි වන අතර ජනගහනය මිලියන 5.4ක් වේ. යුරෝපයෙහි වර්ගඵලයෙන් 8වන විශාලම රට වන ෆින්ලන්තය ලෝකය තුළ කතාබහට ලක්වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් ව්‍යසනයට පත් කෘෂිකාර්මික සමාජයක් දශක පහක් වැනි කාලයක් තුළ සූක්‍ෂම වෙළඳපොළ ක‍්‍රමයක් සහ උසස් ජීවන මට්ටමක් සමගින් තාක්‍ෂණය අතින් ලොව ඉහළින්ම සිටින රාජ්‍යයක් බවට පරිවර්තනය වීම හේතුවෙනි. ඉතා කෙටි කාලයක් තුළ ඔවුන් අත්පත්කරගත් මෙම ප‍්‍රගතිය වෙත ඔවුන් ඔසවා තැබීමට දායකවූ ප‍්‍රමුඛතම සාධකයක් ලෙස එරට අධ්‍යාපන ක‍්‍රමය හැඳින්විය හැකි යි.

World Top 20 Network මගින් සිදුකරන ‘ලොව හොඳම අධ්‍යාපන ක‍්‍රමයන් 20’ තේරීමේ වැඩසටහනට අනුව 2017 වර්ෂයේ පළමු කාර්තුවේ ලොව හොඳම අධ්‍යාපන ක‍්‍රමය බවට පත්වූ ෆින්ලන්ත අධ්‍යාපන ක‍්‍රමය, ලොව අනෙකුත් රටවලට යොදාගත හැකි පරමාදර්ශී අධ්‍යාපන ක‍්‍රමයක් ලෙස ඇඟයීමට ලක්වේ. විශේෂයෙන්ම,  අප වැනි රටවල නිතර නිතර අසන්නට ලැබෙන නිදහස් අධ්‍යාපනය ධනේෂ්වර දෘෂ්ටිවාදයෙන් ආරක්‍ෂා කරගන්නේ කොහොමද? විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාවෙන් දරුවන් පීඩනයට පත්වීම අවම කරගන්නේ කෙසේද? වැඩලොවට යා නොවන උසස් අධ්‍යාපනය ආදි ප‍්‍රශ්නාර්ථයන් රැසකට ෆින්ලන්ත අධ්‍යාපන ක‍්‍රමය නිසි පිළිතුරක් සපයයි. එබැවින් මේ ලිපිය ෆින්ලන්ත අධ්‍යාපන ක‍්‍රමය ගොඩනැඟී ඇති අයුරු සහ එහි සුවිශේෂීතා පාදක කරගනිමින් සැකසෙන්නකි.

සියලුම මට්ටම් සඳහා නොමිලයේ අධ්‍යාපනය

‘සියලුම පුද්ගලයන් උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලැබිය යුතුය’ යන්න ෆින්ලන්ත අධ්‍යාපනයේ මූලික මූලධර්මයකි. එබැවින් වාර්ගිකත්වය, වයස, ධනය ආදි භේදයන්ගෙන් තොරව සියලුම පුරවැසියන්ට අධ්‍යාපනයේ සම-අවස්ථාවන් හිමිවන සේ ෆින්ලන්ත අධ්‍යාපන ක‍්‍රමය සකසා ඇති අතර එය ප‍්‍රායෝගික තලයෙහි කි‍්‍රයාත්මක කිරීමේ මූලික පියවරක් ලෙස ඔවුන් අනුගමනය කරනුයේ පූර්ව-ප‍්‍රාථමික අවදියේ සිට උසස් අධ්‍යාපනය දක්වාම දරුවන්ට නොමිලයේ අධ්‍යාපනය ලබාදීමයි. නොමිලයේ අධ්‍යාපනයක් ලබානොදෙන එකම අවදිය ලෙස මෙම අධ්‍යාපන ක‍්‍රමය යටතේ පවතින්නේ වැඩිහිටි අධ්‍යාපනය පමණි. එමෙන්ම, ‘සැමට අධ්‍යාපන අවස්ථා’ යන්න තහවුරුකිරීම පිණිස අධ්‍යාපන කාලසීමාව තුළ ණය-ආධාර ලබාගැනීමට සිසුන්ට හැකියාව ලබාදීමද ෆින්ලන්ත අධ්‍යාපන ක‍්‍රමයෙහි සුවිශේෂී තත්ත්වයකි.

සියලුම සිසුන්ගේ හැකියාවන් උපරිමයෙන් අවදිකිරීමට උත්සහකිරීම

ෆින්ලන්තයේ චින්තනය වන්නේ සියලුම සිසුන්ගේ හැකියාවන් උපරිමයෙන් අවදිකිරීමයි. මෙම හැකියාවන් උපරිමයෙන් අවදිකිරීමට ඔවුන් යොදගන්නා එක් උපායයක් වන්නේ උපදේශන සහය ලබාදීමයි. විශේෂයෙන්ම, මෙම උපදේශන සහය සැපයීම තුළින් සිසුන්ට අධ්‍යාපනයේදී මෙන්ම රැකියාවෙත් වඩාත් නිවැරදි සහ සුදුසු තීරණගැනීමට පුරුදුපුහුණු කරයි. තවද, ළමයින්ට සහ තරුණ පරපුරට ඔවුන්ගේ හැකියාවන් මොනවද යන්න හඳුනාගැනීමට මෙය මහත් රුකුලක් සපයයි.

සුළු ජනකොටස් හා සංක‍්‍රමණිකයන්ට සහය වන අධ්‍යාපන ක‍්‍රමයක්

ස්විඩන් සහ ෆින්ලන්ත භාෂා ෆින්ලන්තයේ භාවිත නිල භාෂාවන් දෙක වන අතර මූලික සහ ද්විතීයික අධ්‍යාපනය සඳහා සහභාගී වන පිරිස අතරින් ස්විඩන් භාෂා මාධ්‍යයෙන් ඉගෙනගන්නා සිසුන් ආසන්න වශයෙන් සියයට 5ක් පමණ වේ. එහෙත් මේ සුළු පිරිසට පවා ඔවුන් ස්විඩන් භාෂා මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදුකරන අතර උසස් අධ්‍යාපනය හදාරන්නන් වෙනුවෙන් ඔවුන්ගේ භාෂාවන්ට වෙන්වූ අධ්‍යාපන ආයතන පවතීි. එමෙන්ම විදේශ භාෂා මාධ්‍යයන්ගෙන්ද උගන්වන අධ්‍යාපන ආයතනද පවතින අතර ඒ අතරින් ඉංගී‍්‍රසි සුලබව භාවිතා වේ.

යාවජීව ඉගෙනුම් කි‍්‍රයාවලියකට අවධානය යොමුකිරීම

ෆින්ලන්ත අධ්‍යාපන ක‍්‍රමය තුළ අධ්‍යාපනය ලැබීමෙහි අවසානයක් නොවන අතර ඉගෙනගන්නා අයට අඛණ්ඩවම අධ්‍යාපනයේ ඉහළ මට්ටම් වෙත ගමන් කළහැකිය. වැඩිහිටි අධ්‍යාපන සහභාගීත්වය සහ ප‍්‍රවර්ධනය වෙනුවෙන් ෆින්ලන්තය සතුව දිගු ඉතිහාසයක් ඇති අතර 1989දී ප‍්‍රථම උසස් ජන පාසල (Folk High School) ෆින්ලන්තයේ ආරම්භ වන්නේ මේ වෙනුවෙනි. කෙසේනමුත්, වැඩිහිටි අධ්‍යාපනය ෆින්ලන්තයේ වඩාත් ජනපි‍්‍රය අධ්‍යාපන ක‍්‍රමයක් වන අතර ඒ සඳහා සහභාගී වන පිරිස ද ඉහළයි. එබැවින් ෆින්ලන්තයේ වැඩිහිටි අධ්‍යාපනයට දිගු සහ ශක්තිමත් සම්ප‍්‍රදායයක් පවතින බව පැහැදිලිය.

ඔවුන්ගේ මෙම වැඩිහිටි අධ්‍යාපන ප‍්‍රතිපත්තිය මගින් ඔවුන් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන්නේ රැකියා කාලය දිගුකිරීම, රැකියා අනුපාතය වැඩිකරගැනීම, ඵලදායීත්වය වැඩිදියුණු කිරීම, යාවජීව අධ්‍යාපනයේ නියමයන් කි‍්‍රයාත්මක කිරීම සහ බහු-සංස්කෘතිකත්වය වැඩිදියුණු කිරීම ය.

මුල්-ළමාවිය අධ්‍යාපනය හා මූලික අධ්‍යාපනය යාවජීව අධ්‍යාපනයේ කොටසක් ලෙස

මුල්-ළමාවිය අධ්‍යාපනයට අඩංගු වන්නේ දරුවන්ගේ සමබර වර්ධනය හා ඉගෙනුම හා සංවර්ධනය යි. සෑම දරුවෙක්ටම මුල්-ළමාවිය අධ්‍යාපනය ලැබීමේ ආත්මීය අයිතියක් ඇත. මෙම අධ්‍යාපනය පෞද්ගලික නිවෙසක පවතින දිවා සුරැකුම් මධ්‍යස්ථානයක පවා සිදුකළ හැකි අතර ගාස්තු අයකරන්නේ දෙමාපියන්ගේ ආදායමට සාපේක්‍ෂව යි.

පූර්ව-ප‍්‍රාථමික අධ්‍යාපනය වයස අවුරුදු 6 දරුවන්ට අනිවාර්ය වන අතර දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ පාසල් යන දෙකෙන්ම මෙය ලබාගත හැකිය. සෙල්ලම් තුළින් ඉගෙනීම සිදුකරන මෙම අවදිය තුළ දරුවන්ගේ මූලික හැකියාවන් සහ දැනුම කෙසේද යන්න හඳුනාගනු ලබයි.

තනි-ව්‍යුහයක් තුළ ඇරඹෙන මූලික අධ්‍යාපනය

දරුවෙක් වයස අවුරුදු 7ට එළැඹි පසු ආරම්භ වන මූලික අධ්‍යාපනය වසර 9ක කාලයක් පුරා දිවයයි. පළාත් පාලන ආයතන මගින් මූලික අධ්‍යාපනය ලැබීමට තම නිවස අසල පාසලක් නියම කළද යම් සීමාවකට යටත්ව දෙමාපියන්ගේ කැමැත්ත මත පාසලක් තෝරාගැනීමට අවකාශය ලබාදී ඇත. ප‍්‍රාථමික සහ පහළ-ද්විතියීක අධ්‍යාපනය වෙන වෙන අංශයන් ලෙස නොපවතින බැවින් ෆින්ලන්ත අධ්‍යාපනය තුළ මූලික අධ්‍යාපනය සම්පාදනය වන්නේ එකම ව්‍යුහයක් තුළයි. පළමු වසර 6කම විෂයයන් එකම ගුරුවරයා විසින් ඉගැන්වීම සිදුකරන අතර විෂයයට අදාළ විශේෂඥයන් විසින් අවසන් වසර 3හි ඉගැන්වීම් කටයුතු සිදුවේ.

ඉහළ-ද්විතියීක අධ්‍යාපනයේදී සාමාන්‍ය සහ වෘත්තීය අධ්‍යාපන මාර්ගයන්

අනිවාර්ය අධ්‍යාපනය (මූලික අධ්‍යාපනය) සාර්ථක ලෙස නිමකළ සිසුන් සාමාන්‍ය සහ වෘත්තීමය වශයෙන් වන ඉහළ-ද්විතියීක අධ්‍යාපනය සහ පුහුණුව සඳහා සුදුසුකම් ලබන අතර මේ සඳහා සිසුන් තෝරාගැනීමට මූලික අධ්‍යාපන සහතිකයේ සඳහන් පන්ති සාමාර්ථයන් යොදාගැනේ. වෘත්තීය ආයතන විසින් භාවිතාකරන තෝරාගැනීමේ නිර්ණායකයන්ට වැඩ පළපුරුද්ද සහ ප‍්‍රවේශ හා අභියෝගතා පරීක්‍ෂණයක්ද අන්තර්ගත වේ. මූලික අධ්‍යාපනය අවසන් කර පැමිණෙන සිසුන් අතරින් අදාළ වයස් කාණ්ඩය තුළම ඉතා ඉක්මණින් සියයට 90කට වඩා වැඩි පිරිසක් ද්විතියීක අධ්‍යාපනය ආරම්භකිරීම මෙම අධ්‍යාපන ක‍්‍රමයේ ඵලදායීත්වය කෙසේද යන්න තහවුරු කරයි.

ඉතා නම්‍යශීලී ලෙස සකසා ඇති ඉහළ- ද්විතියීක අධ්‍යාපනය

ඉහළ-ද්විතියීික අධ්‍යාපන විෂය නිර්දේශය වසර තුනකට සැලසුම් කර ඇති නමුත් එය අවම වසර 2කින් හෝ උපරිම වසර 4කින් සම්පූර්ණ කළහැකිය. ඉගැන්වීම සංවිධානය කර ඇත්තේ මොඩියුලවලින් වන අතර වසරවලින් සිසුන් බැඳතබා නැත. ඒ වෙනුවට සිසුනට නිදහසේ හා තනි තනිව අධ්‍යයන කාල සටහන් තීරණය කළහැකි යි. එක් එක් පාඨමාලා අවසානයේ සිසුන් ඇගයීමට ලක්වන අතර ශිෂ්‍ය පාඨමාලා (අනිවාර්ය සහ කැමැත්තෙන් තෝරාගත් විෂයයන් අන්තර්ගත වේ.) අවශ්‍ය සංඛ්‍යාව සම්පූර්ණ කර ඇති විට, ඔහු හෝ ඇයට ඉහළ- ද්විතියීික අධ්‍යාපන සහතිකය හිමිවේ. ඉහළ- ද්විතියීක අධ්‍යාපන තුළ  මොඩියුල ව්‍යුහයක් පවතින නිසා සිසුන්ට සාමාන්‍ය අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අධ්‍යාපන යන දෙකහිම අධ්‍යයන කටයුතු සඳහා සම්බන්ධ විය හැකිවීම වඩාත් සුවිශේෂී වේ.

විභාග භීතිකාවක් නොවන අධ්‍යාපන ක‍්‍රමයක්

ඉහළ-ද්විතියීක අධ්‍යාපනය අවසන් වනවිට ෆින්ලන්ත සිසුවෙක් ප‍්‍රථම සහ ෆින්ලන්ත අධ්‍යාපන ක‍්‍රමය යටතේ පවතින එකම ජාතික විභාගයට මුහුණදිය යුතුය. ‘මැටි‍්‍රක්‍යුලේෂන් විභාගය’ ලෙස හැඳින්වෙන මෙම විභාගය අනිවාර්ය පරීක්‍ෂණ 4කින් සමන්විත වේ. මව්භාෂාව, එක් එක් අපේක්‍ෂකයා විසින් තෝරාගත් විෂයයක් සහ දෙවන ජාතික භාෂාවල විදේශීය භාෂාවල ගණිතය හෝ පොදු අධ්‍යයනයන්ගෙන් එක් විෂයයක් මානව ශාස්ත‍්‍ර හෝ ස්වාභාවික විද්‍යා විෂයයක් යන විෂයන්ගෙන් තමන් කැමති විෂයයන් 3ක් එම පරීක්‍ෂණ 4ට අදාළ වේ. එමෙන්ම, සිසුන්ට විකල්ප පරීක්‍ෂණයකටද ඇතුළත් විය හැකියි.

විභාගය යනු යාවත්කාලීන දැනුමක් නොවන අතීතය පාදක කරගත් සිදුවීම් මත පදනම්ව සකසන්නකි. එමෙන්ම එය දරුවන් වෙත පීඩනයක් ඇතිකරන අතර ඒ තුළින් දරුවන්ගේ හැකියාවන් අවදිවීමක් සිදුනොවේ. එබැවින් ෆින්ලන්ත අධ්‍යාපන ක‍්‍රමය තුළ මූලික අධ්‍යාපනය ලබන සිසුන් සඳහා ජාතික පරීක්‍ෂණ නැත. ඒ වෙනුවට කළයුත්තේ විෂයයට අදාළ ගුරුවරයා විසින් විෂය මාලාවේ සඳහන් පරිදි සිසුන් ඇගයීමට ලක්කිරීමයි. ඒ තුළින් දරුවාගේ හැකියාවන් සහ ස්වයං-දැනුම ආදිය අවදි කරගැනීමට උත්සහ කරයි. එබැවින් මූලික අධ්‍යාපනය ලබාදෙන වසර 9 අවසානයේ ගුරුවරයා විසින් මූලික අධ්‍යාපන සහතිකය සාමාර්ථයන් සටහන් කරමින් ලබාදෙන්නේ විභාග නොව මෙම ඇගයිම් මත පදනම්වය.

කාලසටහන් පාසලට ආවේණික පිළිවෙලකට සකසාගැනීම

සැම වර්ෂයකම අගෝස්තු මැද සහ ජූනි මාසය ආරම්භවීමත් අතර කාලය තුළ දින 190ක් පාසල් වර්ෂයකට අයත් වන අතර සතියකට දින 5ක් පාසල පවත්වයි. විකල්ප විෂයයන් අවම සතියකට පාඩම් 19ත් උපරිම 30ත් දක්වා වන අතර දරුවා තෝරාගත් විකල්ප විෂයයන් හා ඔවුන්ගේ මට්ටම් අනුව පාඩම් ප‍්‍රමාණය තීරණය වේ. දින හා සති කාල සටහන් තීරණය කරන්නේ පාසල විසිනි.

ගුරු වෘත්තීය ආකර්ෂණිය හා ඉහළම වෘත්තීය තෝරාගැනීමක් ලෙස

ෆින්ලන්තයේ ගුරු වෘත්තීය යනු ආකර්ෂණිය වෘත්තීය තෝරාගැනීමකි. එබැවින්, ගුරු අධ්‍යාපන ආයතනවලට ගුරු වෘත්තීය සඳහා වඩාත් සුදුසුම අයදුම්කරුවන් තෝරාගැනීමට හැකිවේ. එහෙයින්, ෆින්ලන්ත අධ්‍යාපන ක‍්‍රමය තුළ ගුරුවරයෙක් බවට පත්වීම පහසු කටයුත්තක් නොවේ. පන්ති ගුරුවරුන් සඳහා ඉල්ලුම් කරන අපේක්‍ෂකයන්ගෙන් තෝරාගන්නේ සියයට 10ක් වැනි සුළු පිරිසකි. විෂය ගුරුවරුන් බඳවාගැනීම විෂයයන් අනුව සියයට 10 සිට සියයට 30 දක්වා වෙනස් වන අතර වෘත්තීය අධ්‍යාපනයේ ඉගැන්වීම් සඳහා අපේක්‍ෂකයන්ගෙන් සියයට 30ක් බඳවාගනු ලැබේ.
තවද, මූලික සහ ද්විතීයික අධ්‍යාපනයේ නිරත ගුරුවරුන්ට පශ්චාත්-උපාධියක් අවශ්‍ය වන අතර වෘත්තීය පුහුණු අධ්‍යාපනය සඳහා ගුරුවරයෙක්ට උසස් අධ්‍යාපන උපාධියක් අවම සුදුසුකම වේ. මුල් ළමාවිය අධ්‍යාපනයේ දී ගුරුවරයෙක් ප‍්‍රථම උපාධිය සම්පූර්ණ කර තිබිය යුතුයි. පුර්ව-ප‍්‍රාථමික අධ්‍යාපනයේ නිරත ගුරුවරයෙක්ට පශ්චාත්-උපාධියක් තිබිය යුතුයි. එබැවින්, ඉතා ඉහළ සුදුසකම් හා පුහුණුවක් ෆින්ලන්ත ගුරුවරුන් සඳහා අවශ්‍ය වන බැව් පහැදිලිය. අනෙක් සුවිශේෂත්වය වන්නේ ඔවුන් වෘත්තීය වශයෙන් ඉතා ස්වාධීන වීම යි.

කෙසේනමුත්, මේ සියල්ල ෆින්ලන්ත අධ්‍යාපන ක‍්‍රමයේ සුවිශේෂී මෙන්ම එය අර්ථවත් කළ ලක්‍ෂණයන් ලෙස ගොනුකළ හැකි අතර මේ සියල්ලටම වඩා ෆින්ලන්ත අධ්‍යාපන ක‍්‍රමය වඩාත් සාර්ථක අධ්‍යාපන ක‍්‍රමයක් බවට පත්වන්නේ වෙනස් වන ලෝකයට අනුයාත වන සේ එම අධ්‍යාපන ක‍්‍රමයේ වරින් වර සිදුකරන වෙනස්කම්ය. වසර 2020 වන විට ෆින්ලන්තයේ සියලු පාසල් විෂය නිර්දේශවලින් සියලු විෂයයන් ඉවත්කිරීමට යාම ෆින්ලන්ත අධ්‍යාපන ක‍්‍රමයේ නවතම අධ්‍යාපනික වෙනස්කම වන අතර මෙම වෙනස කුමක්ද? වෘත්තීය ලෝකයට ගැළපෙන ලෙස ඔවුන් සකසා ඇති උසස් අධ්‍යාපනයේ දෙමුහුන් ආකෘතිය පිළිබඳ තතු තවත් ලිපියකින් බලාපොරොත්තු වන්න.

සටහන සඳහා පාදක කරගත් මූලාශ‍්‍ර:

  1. Finnish Lessons: What the World Can Learn From Educational Change in Finland (Author:Pasi Sahlberg)
  2.  Finnish education in a nutshell (Author:Finish National Board of Education)