අධ්‍යාපනයේ නවතම සංකල්පය වන පුනරාවර්තන අධ්‍යාපන සංකල්පය රටක අධ්‍යාපනය සඳහා ආදේශ කළ යුත්තේ ඇයි?

සටහන: ධනංජි සමරකෝන්

අධ්‍යාපනය පිළිබඳ නවතම සංකල්පය වශයෙන් හැඳින්වෙන පුනරාවර්තන අධ්‍යාපනය (Recurrent Educational) 20වෙනි සියවසේදී අධ්‍යාපනය සම්බන්ධයෙන් බිහිවූ මුල්ම අදහස ලෙස සලකනු ලැබේ. ස්වීඩනයේ අධ්‍යාපන ඇමතිව සිටි ඕලොෆ් පාම් (Olof Palm) විසින් 1968දී ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය (Organization for Economic Co-Operation and Development-OECD) ඉදිරියේ පවත්වන ලද දේශනයකින් පසුව වර්තමාන අධ්‍යාපනය සඳහා වූ විකල්පයක් ලෙස පුනරාවර්තන අධ්‍යාපන සංකල්පය ලොව පුරා ව්‍යාප්ත විය. යාවජීව අධ්‍යාපන සංකල්පයෙන් පසුව බිහිවූ නවතම සංකල්පය ලෙස ගැනෙන මෙම සංකල්පය ‘අනාගත ලෝකය සඳහා වූ අධ්‍යාපනය’ යනුවෙන් හඳුන්වයි.

පුද්ගලයෙකු ජීවිත කාලයේ විවිධ අවස්ථාවල වරින්වර අධ්‍යාපනය ලබමින්, රැකියාවන්හි නිරතවෙමින් ජීවිත කාර්යයන් කාර්යක්‍ෂමව සිදුකරගැනීම පුනරාවර්තන අධ්‍යාපනයේ හරය ලෙස ලඝු කළ හැකිය. සාම්ප‍්‍රදායයික අධ්‍යාපන ආකෘතියෙන් නව මංපෙත් බලා යන මෙම ක‍්‍රමය 1970 වසරවලදී ස්වීඩනය, නෝර්වේ සහ ප‍්‍රංශය යන රටවල් ප‍්‍රතිපත්තියක් වශයෙන් පිළිගෙන ඇති අතරල එම රටවල මෙය යම් තරමකින් ක‍්‍රියාත්මක වේ. උදාහරණයක් ලෙස දක්වන්නේ නම්, ජර්මනියේ පුනරාවර්තන අධ්‍යාපන සංකල්පය කි‍්‍රයාත්මකවන්නේ දිළිඳු හා කම්කරු පාන්තික ජනතාව වෙනුවෙන් පමණි.

මෙම අධ්‍යාපන සංකල්පය කි‍්‍රයාත්මකකිරීම මගින් නූතන සමාජය තුළ පුද්ගලයෙකුට ඇතිවිය හැකි අභියෝග හා සංකීර්ණ ගැටලු සමූහයකට පිළියම් සකසාගත හැකිය. විශේෂයෙන්ම පුනරාවර්තන අධ්‍යාපන ක‍්‍රමයට අනුව, රැකියාවක් කර නැවත අධ්‍යාපනයට පිවිසිය හැකි බැවින් දරුවන්ට දෙමව්පියන් හට බරක් නොවී සිය අධ්‍යාපන අවශ්‍යතා සපුරාගැනීමට අවකාශයක් සැකසේ. අතීතය පාදක කරගෙන අධ්‍යාපනය දෙස බලන අපි, එම සිතුවමේ සිරගතව ඇති බව ‘The Global Achivement Gap’ කෘතියෙහි කර්තෘ සහ හාවර්ඞ් නවෝත්පාදන මධ්‍යස්ථානයේ විශේෂඥ ටෝනි වැන්ගර්ගේ අදහසයි. එබැවින්ම වර්තමානයට හා අනාගතයට ගැළපෙන අධ්‍යාපනයක් ලැබීමට අපට අවකාශයක් නොතිබීම නූතන අධ්‍යාපන ක‍්‍රමයන්හි පවත්නා දුර්වලතාවයකි. එනමුත්, පුනරාවර්තන අධ්‍යාපන ක‍්‍රමය තුළින් මෙම දුර්වලතාව මඟහරවා ඇත. වෙනස්වන අනාගතය පිළිබඳව කම්පනයට පත්නොවී, ඊට ඔරොත්තුදීම සඳහා වරින්වර මිනිසෙක් අධ්‍යාපනය ලැබිය යුතු බව අවධාරණය කරන පුනරාවර්තන අධ්‍යාපන සංකල්පය තාක්‍ෂණික අනාරක්‍ෂිතභාවයෙන් මිදීමට පුද්ගලයාට උදව් කරයි.

‘අනාගත ලෝකයේ අධ්‍යාපනය’ ලෙස හඳුන්වන මෙම සංකල්පයට අනුව පුද්ගලයා ජීවිත කාලයේ විවිධ අවස්ථාවන්හි අධ්‍යාපනය ලබමින්, රැකියාවල නිරතවෙමින්, ජීවිත කාර්යයන් කාර්යක්‍ෂමව සිදුකරගනියි. පුනරාවර්තන අධ්‍යාපනයෙන් පුද්ගලයෙකුට ලද හැකි ප‍්‍රධානම වාසිය වන්නේ එයයි. තවද, මෙම ක‍්‍රමය නිසා වත්මන් අධ්‍යාපන ක‍්‍රමවේදයන්ගේ පවතින ගැටලු නිරාකරණයට මග පාදයි. නිදසුනක් ලෙස, පුද්ගලයෙකුට අධ්‍යාපනය සඳහාම කැපවී බලාසිටිනු වෙනුවට රැකියාවක යෙදීමෙන් පසුව ද ඉගෙනීම කරා නැවත ප‍්‍රවේශවීමේ අවස්ථාව උදාවන බැවින්, පශ්චාත් ද්විතීය අධ්‍යාපනය වෙත ප‍්‍රවේශවීමට අපේක්‍ෂා කරන්නන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් අඩුවිය හැකිය. එමෙන්ම, මෙමගින් පුද්ගලයාට ජීවිත කාලය පුරාවටම ක‍්‍රමානුකූලව වරින්වර අධ්‍යාපනයට පිවිසිය හැකිය. එබැවින් පරම්පරා පරතරය නම් භේදය පවා සීමා වේ. යල්පැන ගිය දැනුමට සීමාවී පාෂාණභූතවීම වැළකේ. බාල, තරුණ හා වැඩිහිටි පරම්පරා අතර අධ්‍යාපනය වෙනුවෙන් බෙදී යන සම්පත් ද සමනුපාතව බෙදී යනු ඇත. පුද්ගල ජීවිත චක‍්‍රයෙන් 3/4ක් වැඩිහිටි වියට අයත් වන්නේ නම්, එම කාලය තුළ ද ඔවුනට අධ්‍යාපන අවස්ථා උදාවේ. වත්මන් ද්විතීයික අධ්‍යාපනයෙන් පසුව තවත් අවුරුදු කිහිපයක් සමාජ අත්දැකීම්වලින් තොරව ඉගෙනගන්නා විට පුද්ගලයා සමාජයට ආගන්තුක වන අතර, මෙම ක‍්‍රමය මගින් එකී දුර්වලතාව පහව ගොස් පුද්ගලයාට ජීවන තක්‍ෂලාවේ පූර්ණ පරිචයක් අත්කරගත හැකිය. එබැවින් පුනරාවර්තන අධ්‍යාපන ක‍්‍රමය යනු වර්තමානයේ පවතින මනෝලෝක අධ්‍යාපන ක‍්‍රමයෙන් ඈත්ව අධ්‍යාපනය යන්නට සැබෑ අරුතක් එක් කරන සංකල්පයකි.

සටහන සඳහා පාදක කරගත් මූලාශ‍්‍ර:

  1. කාරියවසම්, චන්ද්‍රපාල. 21 වන සියවසට අධ්‍යාපනය, කොට්ටාව, සාරා ප්‍රකාශන,  1995.
  2. Wagner, Tony. The Global Achievement Gap: Why Even Our Best Schools Don’t Teach the New Survival Skills Our Children Need–and what We Can Do about it, New York; Basic Books, 2008