අයිතියකින් තොර නිවෙසක සිට නිවෙසක් සඳහා ඇති අයිතිය දක්වා කෙරෙන නාගරික සමාජ ප‍්‍රතිපත්තිය පිළිබඳව දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA) සංවාදයෙහි යෙදෙයි.

ශ්‍රී ලංකාවේ නාගරික සමාජ නිවාස ප‍්‍රතිපත්තියට විපුල ඉතිහාසයක් තිබෙන නමුත් වර්තමානයේ එය ගැටලුවලින් පිරී පවතී. මේ අතරින් වඩාත්ම බරපතල ගැටලුව පෙන්නුම් කරන්නේ පශ්චාත් යුද සමයේදී නාගරික සංවර්ධන අධිකාරිය (UDA) ක‍්‍රියාත්මක කළ කොළඹ අඩු ආදායම්ලාභී ප‍්‍රජාවන්ට රජයේ නිවාස සැපැයීමේ වැඩසටහන තුළය. ඔවුන්ට නිවසක් සඳහා ඇති අයිතිය සහභාගිත්වය, ඔවුන්ගේ අදහස් විමසීම, වන්දි ලබාදීම, නිසි ක‍්‍රියාවලිය, බලහත්කාරයෙන් ඉවත් නොකිරීම යනාදී අයිතීන් උදෙසා හිලව් කළ බව පෙනේ. නාගරික සංවර්ධන අධිකාරිය මෑතකදී මෙම කාරණාවලට පිළියම් වශයෙන් වැදගත් පියවර කිහිපයක් ආරම්භ කර තිබෙන නමුත් ප‍්‍රතිපත්තිවලට හා ඉදිරියේ ගතහැකි ක‍්‍රියාමාර්ග සඳහා බාධා කරන වඩා බරපතල ගැටලු සඳහා අවධානය යොමු කළයුතුව ඇත.

මේ අතරින් ප‍්‍රමුඛතම ගැටලුව වන්නේ ‘දුප්පතා’ පිළිබඳ සංකල්ප හා එම වචනය යොදාගන්නා ආකාරයයි. ‘දුප්පතා’ යන්න ගොදුරුවීමට ඇති ඉඩකඩ සැබෑ ස්වභාවය හා දරිද්‍රතාවේ ව්‍යූහාත්මක පැතිකඩයන් වසන්කිරීම සඳහා වචනයක් ලෙස පොදු අර්ථයෙන් බහුලව යොදා ගැනේ. බොහෝවිට කිසිඳු බැරැරුම් අන්තර්ගතයකින් තොර වාගාලංකාරයක් ලෙස යෙදෙන බැවින් මින් ‘දුප්පතුන්ට හිතැතී’ යැයි කියන ප‍්‍රවේශයන්ට පවා බාධා කළහැකි ගැටලුවකි. වැඩකරන පන්තියේ දුප්පතුන්ට හිතැති පීතෘ මූලිකවාදයක් හා සමාන විය හැකිය. ‘දුප්පතා’ ගැන කතාකිරීම උපකාරකිරීම සඳහා වූ දේශපාලනික කැපවීමක් හා ඡන්ද ලබාගැනීමේ ප‍්‍රයත්නයක් මිස, දුප්පත්කම ගැන හරවත් සංවාදයක් නොවීමට ඉඩ තිබේ.

මේ අයුරින් ‘මුඩුක්කුව’ යන වචනය අසුන්දරත්වය, අපිරිසිදු බව, නීති විරෝධීභාවය හා අන්තරාය පිළිබඳ සිතුවමක් මැවීම සඳහා බොහෝවිට ලිහිල්ව හා වගකීම් විරහිතව යොදාගනු ලැබේ. එහෙත් යථාර්ථය ඊට වඩා සංකීර්ණය. රජයේ ආයතන, ප‍්‍රතිපත්ති සම්පාදකයන්, දේශපාලනඥයන්, පර්යේෂකයන්, සැලසුම්කරුවන්, වාස්තු විද්‍යාඥයන්, සමාජ ක‍්‍රියාකාරින්, මාධ්‍යවේදීන්, රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් අය අතර ‘දුප්පතුන්’ හා ‘මුඩුක්කු’ වැනි වර්ගකිරීම් යොදාගැනීමේ ඛේදජනක ප‍්‍රවණතාවක් පවතින නමුත් මේවායින් බොහෝවිට පිළිබිඹුවන්නේ ඔවුන්ගේම නැඹුරුතාවයන් හා අභිලාෂයන්ය.

උදාහරණයක් ලෙස කොළඹ ජනගහනයෙන් සියයට පනහකටත් වඩා ජීවත්වන්නේ මුඩුක්කු තුළ යැයි අසන්නට ලැබීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. එහෙත්, සෙවණත වැනි ආයතන සිදුකළ අධ්‍යයනයන්ගෙන් අවධාරණය කෙරෙන්නේ “හඳුනා ගත් සියලු අඩු ආදායම්ලාභී ජනාවාස මුඩුක්කු ලෙස වර්ග කිරීම අසීරුය” යන්න හා බොහෝ ජනාවාස කාලයත් සමග සැලකිය යුතු ලෙස වැඩිදියුණු වී ඇති බවයි. එපමණක් නොව මෙම ලේබල්කිරීම් සහ නාගරික දරිද්‍රතාව ගැන කත කරන ආකාරය අවකාශීය හා ආර්ථික අවිධිමත්භාවය අතර පවත්නා සම්බන්ධතාවයන් පිළිබඳ විශ්ලේෂණයකට හේතු නොවේ.

නාගරික දුප්පතුන් පිළිබඳ මෙම සමරූපී අවබෝධය වඩා පහසුවෙන් ක‍්‍රියාත්මක කළහැකි යැයි සැලකෙන සහ සියල්ලන්ට එකම ප‍්‍රමාණයේ වාසස්ථාන සැපැයෙන විසඳුම්වලට තුඩු දේ. ඔවුන් ඉහළ සිට පහළට ගලා එන ප‍්‍රවේශයන් යොදාගන්නේ විධායක පාලනය යුක්ති සහගතකිරීම සඳහා සහ පහළ සිට ඉහළට ගලා යන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලියකින් ඇති වන සංකීර්ණතා මගහැර යාම සඳහාය. ඡන්දයෙන් තෝරාපත් කරගත් පළාත් පාලන ආයතනික ව්‍යුහයන් පාගා දමමින් කොළඹ පශ්චාත් යුද නාගරික සංවර්ධනයේදී බොහෝවිට සිදුවූවාක් මෙන් මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටපත් කර දමා, තාක්‍ෂණික ප‍්‍රභූ පාලන තන්ත‍්‍රයක් බිහි කරයි.

අයිතීන් කෙරෙහි අර්ථාන්විත අවධානයක් යොමු නොකිරීමෙන් සිදුවී ඇත්තේ ප‍්‍රජාවන් සජීවීකරණයකිරීම හා සංවිධානයකිරීම රජයේ නිවාස වැඩසටහන්වල කොටසක් නොවීමයි. අනාගතයේ බිහිවන කවර අර්ථාන්විත සමාජ නිවාස ක‍්‍රමෝපායක් වුවද ජනප‍්‍රියවාදී දේශපාලනය හැසිරවීම (manipulation) හා බල කිරීමට විරුද්ධව නැගී සිටිය හැකි විචාරශීලි ප‍්‍රජා අවබෝධයක් අනිවාර්යයෙන් ඇතිකළ යුතුය.

ශ්‍රී ලංකාවේ නිවාස හා නාගරික සංවර්ධනය ප‍්‍රතිපත්තිය අයිතීන් පිළිබඳව අවධානයක් යොමු නොකිරීම නිසා පමණක් නොව ආයතනික මතකයේ බරපතල හිදැස් පැවතීමෙන් පැන නගින අන්තරායන් නිසා සහ අත්දැකීම් ආවර්ජනය කිරීමේ හා ඒවායින් ඉගෙනීමේ අර්ථාන්විත සංස්කෘතියක් නොමැතිකම නිසා ද දිගුකලක් තිස්සේ බලපෑමට ලක්ව ඇත. ආයතන විශාල සංඛ්‍යාවක් පවතින බැවින් හා ඒවායේ මෙහෙවරයන් අතිපිහිත (overlap) වන බැවින් මෙය බරපතල ගැටලුවක් වේ.

මින් අදහස් කෙරෙන්නේ කිසිදු ප‍්‍රතිපත්තිමය අඛණ්ඩතාවක් නොපවතින බව නොවේ. කොළඹ ජීවත්වන අඩු ආදායම්ලාභී කුටුම්බ දහස් ගණනක් උස තට්ටු ගොඩනැගිලිවල පදිංචි කරවීමේ අදහස මුලින්ම ඉදිරිපත් වූයේ 1990 දශකයේ අග භාගයේදී මිස රාජපක්‍ෂ පරිපාලනය යටතේ නොවේ. එමෙන්ම 2009න් පසුකාලයේ ඉදිරිපත් වූ සුවිශේෂ හා සාමාන්‍ය නාගරික පුනර්ජීවන ව්‍යාපෘති ප‍්‍රවිශ්ටයන් තුළ පැරණි අදහස් හා යෝජනා හමුවේ 2004දී පළමුව යෝජනා කෙරුණු Western Region Megapolies Planning Project (WRMPP) මෑතකදී යළි පණගැන්වීම එවන් එක් අවස්ථාවකි.

ප‍්‍රශ්නය වන්නේ අඛණ්ඩතාවට හා වෙනසට හේතුව කුමක්ද යන්නයි. අවාසනාවට මේ යුගයේ වැඩටසහන් තුළ ඵලදායීතාවය පිළිබඳ උගත් පාඩම්වලට වඩා පවත්නා දේශපාලන ක‍්‍රමයේ අභිලාෂයන් අඛණ්ඩතාවය හා වෙනසට බලපායි. එහෙත් මින් සිදුවන්නේ තිරසාරභාවය ක‍්‍රමයෙන් දුර්වලවීම, ප‍්‍රතිඵල එන්න එන්න ම අසාර්ථකවීම හා එමගින් දුෂ්කර රාජ්‍ය මූල්‍ය ගැටලුවලට මුහුණපෑම පමණකි.

නිවස මානව අයිතියක් බවට පත්කළ පළමු ගෝලීය ජයග‍්‍රාහකයා ශ්‍රී ලංකාව යැයි තර්ක කළ හැකිය. එම ජයග‍්‍රහණය අර්ථාන්විතවීමට නම් දේශපාලනික කැපවීම ද, අයිතීන් හා සියල්ලන් ඇතුළත් කරගැනීම පිළිබඳ ප‍්‍රබල අවධානයක් ද යොමුවිය යුතුය. එපමණක් නොව වඩාත් අවශ්‍ය කරන ආයතනික ප‍්‍රතිසංස්කරණ ද, රජයේ නිවාස ප‍්‍රතිපත්තිය සකස්කිරීම හා ක‍්‍රියාත්මකකිරීම ප‍්‍රජාතාන්ත‍්‍රීකරණයකිරීම ද, ඒ අර්ථාන්විතභාවය ඇතිකිරීම උදෙසා ගතයුතු පියවර විය යුතුය.

දරිද්රතා විශ්ලේෂණ කේන්ද්රය (CEPA), 2001 වසරේදී පිහිටුවනු ලැබු ස්වාධීන සමීක්ෂණ ආයතනයක් වන අතර එහි මූලික අරමුණ වන්නේ, දරිද්‍රතාවය සම්බන්ධයෙන් කටයුතු කරන පාර්ශ්වයන් දැනුවත් කිරීම සහ උපදේශන සේවා පැවැත්වීමයි.

(2015 ඔක්තෝබර්-දෙසැම්බර් දිරිමඟ කලාපයෙන් උපුටා ගන්නා ලද ලිපියකි.)