යුද්ධයකට වඩා බිහිසුණු, නිහඬවම මිනිසුන් හට මරණය ළඟාකරන වකුගඩු රෝගය පාලනය කරගැනිමට අප කළයුත්තේ කුමක්ද? වෛද්‍ය රත්නසිරි හේවගේ සමගින් සිදුකළ සංවාදයකි.

සටහන: ධනංජි සමරකෝන්

ප‍්‍ර: වකුගඩු රෝගයේ ස්වභාවය පිළිබඳව කතා කළොත්?

පි: වකුගඩුවේ කි‍්‍රයාකාරිත්වයේ හෝ ව්‍යුහයේ සිදුවන හානියක් මාස තුනකට වඩා වැඩි කාලයක් පවතින්නේ නම්, අප එය නිදන්ගත වකුගඩු රෝගයක් (Chronic Kidney Disease- CKD) යනුවෙන් හඳුන්වනවා. නිදන්ගත වකුගඩු රෝගයෙහි ස්වරූප ගණනාවක් තිබෙනවා. දියවැඩියා වෘක්තවේදය (Diabetic Kidney Disease-DKD), වෘක‍්‍රානුවල රෝග (පිළිකා ආදිය), රුධිර නාලවලට හානි සිදුවීම, වෛරස් රෝග, බහු කෝෂ්ඨ වකුගඩු රෝගය (Polycystic kidney Disease-PKD) ආදිය නිදන්ගත වකුගඩු රෝගයෙහි විවිධ ස්වරූපයන්.

දෙවෙනි වකුගඩු රෝගී තත්ත්වය වන්නේ, හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගයයි (Chronic Kidney Disease of Unknown Etiology- CKDu). වකුගඩු රෝගයෙහි භයානකම තත්ත්වය ලෙස හඳුන්වන මෙය වළක්වාගැනීමට මෙන්ම ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිකාර කටයුතු ද පහසු නැහැ. සමකය ආසන්නයේ පවතින රාජ්‍යයන් නැතහොත්, ඝර්ම කලාපයේ රාජ්‍යයන් වන මධ්‍යම ඇමෙරිකානු රටවල් (නිකරගුවා, එල් සැල්වදෝර්, මෙක්සිකෝව), ඊජිප්තුව හා ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශයේ මෙන්ම ඔරිස්සා ප‍්‍රාන්තයේ මෙහි ව්‍යාප්තිය දැකගත හැකියි.

ප‍්‍ර: ඇත්තටම වෛද්‍යයතුමණි, හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය (CKDu) සහ නිදන්ගත වකුගඩු රෝගය (CKD) වෙන්කර හඳුනාගත හැකි ලක්‍ෂණ තිබෙනවා ද?

නිදන්ගත වකුගඩු රෝගය හටගන්නේ මිනිසුන් වයස්ගත වූ පසුව වන අතර, ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම මෙය බලපැවැත්වෙනවා. එනමුත්, හේතුවක් නොමැතිව හටගන්නා වකුගඩු රෝගය බහුලව හටගන්නේ වැඩකරන වයසේ සිටින පිරිමි පාර්ශ්වයටයි. එමෙන්ම, නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන්නෙකුගේ මූත‍්‍රාවල ප්‍රෝටීන ප‍්‍රමාණය ඉතා ඉහළ අගයක් ගන්නා අතර, හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගීන්ගේ මෙම ලක්‍ෂණය දැකිය නොහැකියි. උතුරුමැද පළාතේ ජනතාවට බහුලව හටගන්නේ මෙම වකුගඩු රෝගී තත්ත්වයයි.

ප‍්‍ර: උතුරුමැද පළාතේ වකුගඩු රෝගීන් ප‍්‍රතිශතය ඉතා විශාල අගයක් ගන්නවා. මේ තත්ත්වයට හේතු ලෙස ඔබ දකින්නේ?

පි: වකුගඩු රෝගය යන්න උතුරුමැද පළාතටම විශේෂ වූ කාරණයක් නොවේ. එය ලංකාව පුරාම ව්‍යාප්තව පවතින්නක්. නමුත් ලංකාවේ අනෙකුත් ප‍්‍රදේශවලට සාපේක්‍ෂව, උතුරුමැද පළාතේ හේතුව නොදන්නා වකුගඩු රෝගීන් ප‍්‍රතිශතයේ යම් වර්ධනීය තත්ත්වයක් දැකගත හැකියි. එම රෝගයෙන් පෙළෙන්නෝ ප‍්‍රතිශතයක් ලෙස සියයට 15.1ත් 22.9ත් අතර ප‍්‍රමාණයක් ගන්නා අතර එය අප විශේෂයෙන්ම අවධානයට ගතයුත්තක්. සමස්තයක් ලෙස කිවහැක්කේ, ලංකාව පුරාම වකුගඩු රෝගය පවතින නමුත් වකුගඩු රෝගයෙහි ස්වරූපය ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස් බවයි. කෘෂිකාර්මික සහ නිතරම හිරු එළියට නිරාවරණය වූ පුද්ගලයින්ට මෙම හේතුවක් නොදන්නා වකුගඩු රෝගය හටගැනීමේ ප‍්‍රවණතාවය පවතින අතර උතුරුමැද පළාතේ මෙවැනි ස්වරූපයක් පැවතීම මෙම වකුගඩු රෝගී ව්‍යාප්තිය වැඩිවීමට හේතු වී තිබෙනවා කිවහොත් නිවැරැදියි.

ප‍්‍ර: වකුගඩු රෝගියෙක් බිහිවන්නේ ඇයි යන කාරණයට ඔබේ පිළිතුර?

පි: කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය සහ දියවැඩියාව මෙන්ම තරබාරුකම ආදී රෝගී තත්ත්වයන් මෙම රෝගය හටගැනීමේදී බලපාන එක් කරුණක්. එසේම, කෙටිකාලීනව වකුගඩුවේ යම් යම් රෝගී තත්ත්වයන් (වකුගඩුවල ගල් පැවතීම ආදීය) පවතින විට ඒවාට නිසි ප‍්‍රතිකාර නොගැනීම ද මෙම වකුගඩු රෝගය නිදන්ගත රෝගයක් දක්වා වර්ධනය වීමට බලපාන තවත් කරුණක්. වකුගඩුවලට හානි වන ඖෂධ (උදාහරණයක් ලෙස හන්දි අසනීප සඳහා ගනු ලබන ඖෂධ) පවතින අතර, ඒවා වෛද්‍ය උපදේශයකින් තොරව භාවිතකිරීම ද වකුගඩු රෝගයට හේතුවන තවත් එක් කරුණක්.

ප‍්‍ර: වකුගඩු රෝගය කල්තබා හඳුනාගැනීමේ පර්යේෂණ තිබෙනවා ද?

පි: ඇත්තටම ඔව්, වකුගඩු රෝගය කල්තියා හදුනාගැනීමේ පරීක්‍ෂණ තුනක් තිබෙනවා. එක් පරීක්‍ෂණයක් වන්නේ හේතුසාධක සොයාබැලීමයි. එනම් අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් ආදිය පරික්‍ෂා කිරීමයි. හේතුවක් නොදන්නා වකුගඩු රෝගය (CKDu) පරීක්‍ෂා කරගැනීම සඳහා වයස අවුරුදු 30ට වැඩි සියලුදෙනාම පරීක්‍ෂණ තුනක් සිදුකරගත යුතුයි. එනම්, Serum Creatinine, Urine Albumin Creatinine Ratio (UACR) සහ රුධිර පීඩනය මැන බැලීමයි. මෙම පර්යේෂණ තුනෙහිම තත්ත්වය සාධනීය නම්, ඔහු හෝ ඇය වකුගඩු රෝගියෙක් නොවන බව තහවුරු කළ හැකියි. අවුරුදු 30ට වැඩි සියලුදෙනාම මෙය වසර තුනක් පමණ අඛණ්ඩව සිදුකළ යුතු අතර, එම වසර තුනෙහිම යහපත් තත්ත්වයක් නොවේ නම්, වකුගඩු රෝගියෙක් බවට තහවුරු වෙනවා. නමුත් හේතුවක් නොමැති වකුගඩු රෝගය බහුලව පවතින උතුරුමැද පළාතේ පුද්ගලයන් ගත්කල, වයස අවුරුදු 20 සිටම මෙම පරීක්‍ෂණ සිදුකරගැනීම ඉතා සුදුසුයි.

ප‍්‍ර: වකුගඩු රෝගයෙන් සිදුවන විනාශය තිස් අවුරුදු යුද්ධයෙන් වූ විනාශයට පවා නොදෙවෙනි බව මතයක් පැතිර යනවා. මෙහි සත්‍යයක් තිබේ ද?

පි: අන්තර්ජාතික වකුගඩු සංගමය (International Society of Nephrology – ISN) වකුගඩු රෝගය හඳුන්වන්නේ නිහඬ මාරයෙක් (Silent Killer) ලෙසයි. එබැවින් මගේ නිගමනය වන්නේ, වකුගඩු රෝගය යුද්ධයට වඩා බිහිසුණු දෙයක් බවයි. මොකද කිව්වොත් එය නිහඬවම මිනිසුන් මරණයට පත්කරන මානුෂීය ඛේදවාචකයක්. එමෙන්ම යුද්ධයක් නිමා කරන තරම් පහසුවෙන් මෙය නිමාකළ නොහැකි දෙයක්.

වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ (NINDT) අධක්‍ෂවරයා ය.