ස්වභාවික රක්‍ෂණාවරණයක් ලබාගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් උනන්දු නොවන්නේ ඇයි? සචින්තා ප‍්‍රනාන්දු සමගින් සිදුකළ සංවාදයකි.

සටහන: ධනංජි සමරකෝන්

ප‍්‍ර: ස්වභාවික රක්‍ෂණාවරණයක් ලබාගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් උනන්දු නොවන්නේ ඇයිදැයි සොයාබැලීම සඳහා ඔබ ආයතනය පෙළඹීමට හේතුව?

පි: අපගේ පර්යේෂණ ආයතනයේ මූලික අරමුණක් වන්නේ, පොදු ජනතාවට යහපතක් සිදුකිරීම පිණිස පර්යේෂණ සිදුකිරීම. ඉතිං, මෙම ස්වභාවික ආපදා රක්‍ෂණය පිළිබඳ පර්යේෂණය සිදුකිරීමේදීත්, අපගේ ප‍්‍රධාන අරමුණ වූයේ එයයි. 1987 වර්ෂයේ 13වෙනි ව්‍යවස්ථා සංශෝධනය 1 ප‍්‍රකාරව, ශ‍්‍රී ලංකාව තුළ සිදුකෙරෙන සියලුම පොදු සන්නිවේදනයන් සිංහල, දෙමළ සහ ඉංගී‍්‍රසි යන භාෂා ති‍්‍රත්වයෙන්ම පැවසිය යුතු බවට වන ප‍්‍රතිපත්තියකට රජය කැපවී සිටින නමුත්, දැනට පවතින රක්‍ෂණයන් පිළිබඳ තොරතුරු සහ ලියකියවිලි මෙම භාෂා ප‍්‍රතිපත්තියට අනුකූල නොවීම ශී‍්‍ර ලංකාවේ ස්වභාවික ආපදා රක්‍ෂණාවරණයන් ලබාගැනීමට මිනිසුන් තුළ අවම පෙළඹවීමක් සිදුකරන්නේය යන කාරණය අරභයා මෙම පර්යේෂණය සිදුකරනු ලැබුවා.

ප‍්‍ර: ඔබ මෙම පර්යේෂණය දියත් කරන්නේ බොහෝදෙනා අතර අවධානයට ලක් නොවූ කරුණක් පිළිබඳව. මෙවැනි කාරණයක් පදනම් කරගැනීමට ඔබ ආයතනය පෙළඹවූ හේතු මොනාවා ද?

පි: මෑතකාලයේදී අප රට මුහුණදුන් ස්වභාවික ආපදා ප‍්‍රමාණය අතිවිශාලයි. මෙම ස්වභාවික ආපදා වලින් පීඩාවට පත්වීමේ වැඩි අවදානමක් සහිත පිරිසක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හඳුනාගත හැකියි. ඔවුන් සතු මූල්‍යමය සම්පත්වල හිඟකම සහ ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් හිඟකම හේතුවෙන් ඔවුන් ස්වභාවික ආපදාවකදී සිය හානී පූර්ණය කරගැනීමට අපොහෙසත්වීම ඊට ප‍්‍රධාන හේතුවයි. එවැනි තත්ත්වයක් තුළත්, මෙම සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ ස්වභාවික ආපදා රක්‍ෂණාවරණයක් ලබාගැනීම කෙරෙහි අඩු අවධානයක් යොමු කරන්නේ ඇයි? යන ගැටලුවට පිළිතුරක් සොයාගැනීමට අවශ්‍ය වුණා. එබැවින්, අපි ස්වභාවික ආපදා වලින් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සමග සිදුකරන ලද සාකච්ඡා වලින් මතුකරගත් කාරණා මෙම පර්යේෂණය සිදුකිරීමට පොළඹවනු ලැබුවා.

ප‍්‍ර: මෙම පර්යේෂණය අවසානයේ ඔබ ආයතනය පැමිණෙන ලද නිගමනයන් මොනවා ද ?

පි: ඇත්තටම, මෙම පර්යේෂණය අවසානයේදී අප ප‍්‍රධාන නිගමන හතරක් තහවුරු කරගත්තා. ශී‍්‍ර ලංකාවේ ස්වභාවික ආපදා රක්‍ෂණාවරණ ආවරණය දුර්වල මට්ටමකින් සිදුකෙරෙන අතර, එය අධිකව බලපාන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලටය යන්න අප තහවුරු කරගත් පළමු නිගමනයයි. දෙවැන්න පුද්ගලික රක්‍ෂණ වෙළඳපොළ භාෂා බාධකයෙන් අයුතු ප‍්‍රයෝජන ලබාගන්නා බවයි. රජයේ රක්‍ෂණාවරණ සුබසාධක යෝජනා ක‍්‍රම ස්ව-භාෂාවන්ගෙන් සපයා නැති බවත්, බැංකු ක්‍ෂේත‍්‍රයේ දක්නට ඇති භාෂා නියාමනයන් රක්‍ෂණ ක්‍ෂේත‍්‍රය තුළ තවමත් පෙන්නුම් කර නොමැති බවත් අප සොයාගත් අනෙක් නිගමනයන්.

ප‍්‍ර: ශී‍්‍ර ලංකාවේ ස්වභාවික ආපදා රක්‍ෂණාවරණ ආවරණය දුර්වල මට්ටමකින් සිදුකෙරෙන බව මෙම පර්යේෂණය තුළ තහවුරු කරගත්තක්. මෙම නිගමනයට එළැඹුණේ ඇයි?

පි: ආසියානු කලාපයේ සෙසු රටවල් බහුතරය සමග සසඳන කල්හි, ශී‍්‍ර ලංකාවේ රක්‍ෂණ විනිවිදීමේ අනුපාතය පහළ අගයක් ගන්නවා. සාමාන්‍ය රක්‍ෂණාවරණයේ උපවර්ගයක් වන ගිනි රක්‍ෂණය යටතේ එන ස්වභාවික ආපදා රක්‍ෂණයේ විනිවිදීම් (රක්‍ෂණයක ඇති වැදගත්කම පිළිබඳව මිනිසුන්ගේ දැනීම) අනුපාතය ඊටත් වඩා අඩු අගයක්. ස්විස් රේ ආයතනයේ 2015 ගෝලීය රක්‍ෂණය පිළිබඳ සමාලෝචනයට අනුව, ජීවිත රක්‍ෂණ නොවන රක්‍ෂණාවරණයන්ගේ විනිවිදීම් අනුපාතය ආසියාවේම 1.74ක් වන අතර ලංකාවේ එය 0.66ක් පමණ වෙනවා. එය ඉන්දියාව, වියට්නාමය, තායිලන්තය, මලයාසියාව වැනි ආසියානු කලාපයේ වෙනත් රටවලට මෙන්ම මොරොක්කෝව, කෙන්යාව, ටියුනීසියාව සහ ඇන්ගෝලාව වැනි පහළ මැදි ආදායම් ලබන රටවලට ද වඩා අඩු අනුපාතයක්.

ප‍්‍ර: පුද්ගලික රක්‍ෂණ වෙළඳපොළ භාෂා බාධකයන්ගෙන් අයුතු ප‍්‍රයෝජන ලබාගන්නා බව ඔබ පෙන්වාදෙන තවත් කාරණයක්. මේ පිළිබඳව කතා කළොත්?

පි:  ඔව්, ඇත්තටම ශී‍්‍ර ලංකාව තුළ සාමාන්‍ය රක්‍ෂණාවරණ සම්පාදකයින් අතරින් ඉහළම සම්පාදකයින් හයදෙනා, වෙළඳපොළ ප‍්‍රමාණයෙන් තුනෙන් දෙකකට හිමිකම් කියනවා. ඔවුන් අතරින් ගිනි රක්‍ෂණ ඔප්පු ලේඛන සිංහල බසින් ලබාදෙන්නේ එක් අයෙකු (වෙළඳපොළින් සියයට හයකට අඩුවෙන් හිමිකම් කියන) පමණයි. කිසිවෙක් මෙම ලේඛන දෙමළ භාෂාවෙන් ලබාදෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස, 2017 වසරේ මැයි මාසයේදී රත්නපුර ප‍්‍රදේශයේ ඇතිවූ ගංවතුරින් ආපදාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් පුද්ගලික රක්‍ෂණ සමාගම් නියෝජනය කළ රක්‍ෂණ නියෝජිතයින්ගේ ප‍්‍රකාශවලට අනුව ස්වභාවික ආපදා රක්‍ෂණාවරණ ලබාදෙන්නේ යැයි සිතා සිටි බව අප සමග පැවසුවා. නමුත්, ආපදාවන්ට පසු තම වන්දි ලබාගැනීමට යාමේදී මෙම නියෝජිතයින් තමන්ට අසත්‍ය තොරතුරු ලබාදී ඇති බව ඔවුන්ට අවබෝධ වී තිබුණා. ඔවුන් අත්සන් කළ ලේඛන මුළුමණින්ම ඉංගී‍්‍රසි භාෂාවෙන් පැවති බැවින්, නියෝජිතයින් විසින් සහතික කරන ලද කරුණු වැඩිදුර තහවුරු කරගැනීමේ හැකියාවක් ඔවුන්ට තිබුණේ නැහැ.

ප‍්‍ර: රජයේ රක්‍ෂණාවරණ සුබසාධක යෝජනා ක‍්‍රම ස්ව-භාෂාවන්ගෙන් සපයා නැති බව මෙම පර්යේෂණයේ සඳහන් වන්නක්. මෙසේ කීමට හේතුවක් ඉදිරිපත් කළහොත්?

පි: ජාතික රක්‍ෂණ භාරකාර අරමුදලේ පරිපාලනය යටතේ ඇති රජයෙන් අරමුදල් ලබන ජාතික ස්වභාවික ආපදා රක්‍ෂණාවරණ යෝජනා ක‍්‍රමය පිළිබඳ තොරතුරු මෙම වසරේ මුල තෙක්ම එහි වෙබ් අඩවිය තුළ සඳහන් කර තිබුණේ ඉංගී‍්‍රසි භාෂාවෙන් පමණයි. තවමත් දෙමළ බසින් පළකර නැහැ. ස්වභාවික ආපදා සිදුවූ ප‍්‍රදේශවල බහුතරයක් පිරිස මෙම රක්‍ෂණාවරණය පිළිබඳව දැනුවත් බවක් නොතිබුණු බව මෙම පර්යේෂණය තුළින් තහවුරු කරගන්න හැකිවුණා. මීට භාෂා ප‍්‍රශ්නය හේතුවක් වූ බව අප නිගමනය කළේ ඒ නිසයි.

ප‍්‍ර: මෙම පර්යේෂණය තුළ අවධාරිත කාරණා පිළිබඳ පිළියම් සැකසිය යුත්තේ කවුද? කෙසේ ද?

පි: ගනුදෙනුකරුවන්ට තේරුම් ගතහැකි ශ‍්‍රී ලාංකීය භාෂාවකින් රක්‍ෂණාවරණ ලේඛන ලබාදීම සමාගම්වලට නියම කරමින් පනවන ලද රෙගුලාසියක් රක්‍ෂණ කර්මාන්තය තුළ දක්නට නැහැ. එබැවින් මේ සඳහා අවධානය යොමුකළ යුතු පළමු පාර්ශ්වය වන්නේ රක්‍ෂණ පිළිබඳ රෙගුලාසි සහ නියාමනයන් සකසන ශී‍්‍ර ලංකා රක්‍ෂණ මණ්ඩලයයි. දෙවැන්න, ජාතික රක්‍ෂණ භාර අරමුදල යටතේ තිබෙන ස්වභාවික ආපදා රක්‍ෂණය පිළිබඳ විස්තර භාෂා තුනෙන්ම ලබාදෙන ලෙසට අප කරන ඉල්ලීමයි. අනෙක් පාර්ශ්වකරුවන් වන පෞද්ගලික රක්‍ෂණ ආයතන ද භාෂා තුනෙන්ම සිය කටයුතු සිදුකළ යුතුයි. මෙම පාර්ශ්වයන් මේ පිළිබඳව අවධානය යොමුකළහොත්, ව්‍යාපාරිකයෙන් මෙන්ම සමස්ත ජනතාව තුළම රක්‍ෂණ කර්මාන්තය පිළිබඳ විශ්වසනීයත්වය වැඩිකරගත හැකි බව අපගේ විශ්වාසයයි.

සචින්තා ප‍්‍රනාන්දු වෙරිටේ රිස(ර්)ච් ආයතනයේ සහය විශ්ලේෂකවරියෙකි.

වෙරිටේ රිස(ර්)ච් යනු කොළඹ නගරයේ ස්ථාපිත, ජනමාධ්‍ය, දේශපාලන, නීති (වෝහාර) සහ ආර්ථික විද්‍යා යන ක්‍ෂේත‍්‍රයන්හි ඉහළ මට්ටමේ තීරකයන් (ප‍්‍රතිපත්ති සාදන්නන්) හට උපාය මාර්ගික විශ්ලේෂණයන් සපයන්නා වූ ස්වාධීන බුද්ධි පර්ෂදයකි.