අනාගත ලෝකයේ නවතම ප්‍රවාහන ක්‍රමය ලෙස හැඳින්වෙන හයිපර්ලූප් මෙතරම් සුවිශේෂී ඇයි?

අනාගත ලෝකයේ පස්වෙනි ප්‍රවාහන ක්‍රමය ලෙස හැඳින්වෙන හයිපර්ලූප් ඇමෙරිකානු ව්‍යවසායකයෙකු වන ඊලොන් මස්ක් විසින් 2013දී ලොවට දායාද කරන ලද ඉතා අගනා සංකල්පයකි. නූතන ප්‍රවාහන විකල්පයන් තුළ පවත්නා බොහෝ දුර්වලතාවන්ට විසඳුමක් ලෙස ඉදිරිපත් වන මෙම හයිපර්ලූප් ක්‍රමය කුමක් ද? මෙවර තාක්‍ෂණ තීරූව තුළින් සාකච්ඡා කරනුයේ එයයි.

හයිපර්ලූප් යනු?

සැබවින්ම හයිපර්ලූප් ප්‍රවාහන ක්‍රමය තුළ සිදුවන්නේ ඉදිකර ඇති නලයකට බහාලන කැප්සියුලයක් එක් කොණක සිට අනෙක් කොණට තල්ලු කරහැරීමයි. මෙම තල්ලු කරහැරීම සිදුවන්නේ, කැප්සියුලයේ හා නලයේ සවිකර ඇති චුම්භක ආධාරයෙන් වන අතර කැප්සියුලය නලයේ ගමන් කරද්දී උපදින වායු ප්‍රතිරෝධය වැළැක්වීමට නලය චූෂකයන් ආධාරයෙන් යම්තාක්දුරකට වායුරෝධනය කෙරේ. එමෙන්ම, නලයේ ඇති කැප්සියුලය නලයේ බිත්තිවල නොගැටී පාවෙන අයුරින් පවත්වාගැනීමට නලයේ ඇති වායුවෙන් කොටසක් මෙට්ටයක් සේ භාවිත වේ. කෙසේනමුත්, මෙම ක්‍රමය තුළින් නගර දෙකක් හෝ ප්‍රදේශ දෙකක් පැයට සැතපුම් 760ක පමණ වේගයකින් (ශබ්දයේ වේගයට වඩා ඉතා සුළු අඩුවකින්) තරණය කළ හැකිවීම එහි දැකිය හැකි සුවිශේෂී ලක්‍ෂණයයි.

හයිපර්ලූප් අනෙකුත් ප්‍රවාහන ක්‍රමවලට වඩා වැදගත් ඇයි?

ප්‍රවාහන දුෂ්කරතාවලට විසඳුමක් ලෙස ඉදිරිපත් වන හයිපර්ලූප් ප්‍රවාහන සේවාව භාවිතයට ගැනීමෙන් මිනිසාට අත්විඳින්නට ලැබෙන්නේ දුම්රියක ගමන්ගන්නා ආකාරයේ අත්දැකීමකි. මගීන්ට අසුන්ගෙන ගමන්ගැනීමට ඉඩ සැලසෙන දුම්රියක් බඳු ව්‍යුහය හෙවත් මැදිරිය ධාවනය වන්නේ රික්ත නලයක් තුළ ස්ථාපනය කර ඇති විශේෂ මාර්ගයකයි. හරියටම කිවහොත්, මගීන් රැගත් ෂටලයක් රික්තයක් තුළ ඇති මඟක ගමන් ගන්නේය යන්නයි. එකී මාර්ගය ඝර්ෂණයෙන් තොර එකක් බව කියැවේ. හයිපර්ලූප් පද්ධතියට භාවිත කෙරෙන මැදිරිය ගමන්ගන්නේ මීටර 3.3ක විශ්කම්භයකින් යුත් නලයක් තුළයි. එබැවින් හයිපර්ලූප් මාර්ගස්ථ පද්ධතියක මැදිරියක ආසන 8ක් පමණ රඳවා තිබෙන හෙයින් අප බස් රථයක හෝ දුම්රියක හෝ දකින ආසනවලට වඩා බෙහෙවින්ම මෙය සුවපහසුය.

එමෙන්ම, මගීන් රඳවා ඇති මැදිරිය නලයක් තුළ ගමන්ගන්නා නිසා වෙනත් වාහනවලින් එයට බලපෑමක් එල්ලවීමට ක්‍රමයක් නැත. එනිසා හයිපර්ලූප් මාර්ගස්ථ පද්ධතියක් තුළ වාහන තදබදවලට මැදිවීමක් සිදුනොවේ. එමෙන්ම මාර්ග අනතුරු ඇතිවීමේ අවදානමක් ද නැත. එබැවින් මගීන්ට ඉතා ආරක්‍ෂිතව තමන්ගේ ගමනාන්තයට ළඟාවන්නට එය කදිම ප්‍රවාහන මාධ්‍යයක් බව කිවහැකිය.

එමෙන්ම, මෙම සංකල්පයේ නිර්මාපකයා වන ඊලොන් මස්ක් මෙම ක්‍රමය හඳුන්වා දෙන්නේ එහි විශේෂ ලක්‍ෂණ කිහිපයක් පවතින බවට අදහස් දක්වමිණි. ඔහුට අනුව, මෙම ක්‍රමය අනෙකුත් ප්‍රවාහන ක්‍රමවලට වඩා ආරක්‍ෂාකාරී, ඉක්මණින් ගමන් කළහැකි (සාමාන්‍ය ජෙට් ගුවන් යානා මෙන් දෙගුණයක්වත් වේගවත්වීම), මිල අඩු, සැපපහසු, කාලගුණයට ඔරොත්තු දෙන, භූමිකම්පා ප්‍රතිරෝධී වන, පැය 24ක සේවාවක් ලබාදෙන සහ මාර්ග අනතුරු අවමවීම යන කාරණා ඒ අතරට එක්කළ හැකිය.

ලොව වටා ව්‍යාප්ත වන හයිපර්ලූප්

ප්‍රවාහන දුෂ්කරතාවලට විසඳුමක් ලෙස 2013 වසරේදී ඉදිරිපත් වන හයිපර්ලූප් මාර්ගස්ථ පද්ධති සැලැස්ම යථාර්ථයක් බවට පත්වන ලකුණු වර්තමානය වනවිට පළවී තිබේ. බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත පෙන්වාදෙන ආකාරයට, මේ වනවිට අමෙරිකා එක්සත් ජනපදය හයිපර්ලූප් මාර්ගස්ථ පද්ධතියක ඉදිකිරීම් ආරම්භ කර ඇත. මෙම මාර්ගස්ථ පද්ධතිය ඉදිවන්නේ ලොස් ඇන්ජලීස් සිට සැන් ෆ්‍රැන්සිස්කෝ දක්වායි. මෙම නගර දෙක යා කිරීමට ඉදිවන හයිපර්ලූප් පද්ධතියට අයත් අඩි 1600ක දුරක් හෙවත් මීටර 500ක දුරක් තනා නිමකර ඇතැ’යි වාර්තා වේ. එම කොටස ඉදිකර තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ නෙවාඩා කාන්තාරය හරහා වූ ප්‍රදේශයක වන අතර, එය ලොව පළමු හයිපර්ලූප් මාර්ගස්ථ පද්ධතිය ලෙස ඉතිහාසගත වේ.

කෙසේනමුත්, ලොස් ඇන්ජලීස් සිට සැන් ෆ්‍රැන්සිස්කෝ දක්වා දුර ප්‍රමාණය සැතපුම් 350කි. මෙම දුර තරණය කිරීමට ඉතා ඉහළ මට්ටමේ පහසුකම් සහිතව ධාවනය වන මගී ප්‍රවාහන දුම්රිය සේවාවක් ද ඇත. නමුත් නගර දෙක අතර ගමන් වාරයකට සාමාන්‍යයෙන් පැය හතහමාරක් පමණ ගතවේ. එහෙත්, ගමන් මාර්ගයට හයිපර්ලූප් පද්ධතියක් හඳුන්වාදීමෙන් ඊට ගතවන්නේ මිනිත්තු 35ක් වැනි කෙටි කාලයකි. ලොස් ඇන්ජලීස් සහ සැන් ෆ්‍රැන්සිස්කෝ නගර අතර මගී ප්‍රවාහනයට හයිපර්ලූප් තාක්‍ෂණය එක්කිරීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 600ක පමණ මුදලක් වැයවනු ඇතැ’යි ගණන් බලා තිබිණි.

කෙසේනමුත්, හයිපර්ලූප් තාක්‍ෂණය මගී ප්‍රවාහන සේවයට එකතුකිරීමට ඉහළ පිරිවැයක් දැරීමට සිදුවුව ද, ලෝකයේ රටවල් රැසක් ඊට අනුගතවීමට උත්සහ කරමින් සිටියි. ඒ අතර බ්‍රිතාන්‍යය ද වෙයි. මැන්චෙස්ටර් සිට ලන්ඩන් නුවර දක්වා වූ ගමන් මගට හයිපර්ලූප් තාක්‍ෂණය හඳුන්වාදීමට බ්‍රිතාන්‍යය බලාපොරොත්තුවෙන් සිටියි. එසේම තවත් යුරෝපා රාජ්‍යයන් ගණනාවක් හයිපර්ලූප් තාක්‍ෂණය භාවිතයට ගැනීමට පෙළගැසී සිටියි. ස්වීඩනය සහ ෆින්ලන්තය අතරත්, ස්ලෝවැකියාවේ බ්‍රටිස්ලාවා නගරය හා ඔස්ටිට්‍රියාවේ වියානා නුවර අතරත් හයිපර්ලූප් පද්ධති ඉදිකිරීම සම්බන්ධයෙන් සැලැසුම් ඉදිරිපත්ව තිබේ.

තවද ඩුබායි සහ අබුඩාබී අතර හයිපර්ලූප් පද්ධතියක් ඉදිකිරීමටත් අවශ්‍ය සියල්ල සූදානම්වෙමින් පවතින අතර ඉදිරි වසර පහක කාලය තුළ හයිපර්ලූප් වන් සමාගම එහි වැඩ නිමකරන බවත් අනාවරණය වේ. මේ වනවිට භාවිතයට ගැනෙන ප්‍රවාහන මාධ්‍යවලින් ඩුබායි සිට අබුඩාබී දක්වා වූ දුර ගමන්කිරීමට ගතවන්නේ පැය දෙකකට මඳක් වැඩි කාලයකි. හයිපර්ලූප් පද්ධතියක් ස්ථාපනය කළවිට එම දුර ගමන්කිරීමට ගතවන්නේ මිනිත්තු 12ක් වැනි කෙටි කාලයකි.

එබැවින්, අද ලොව ප්‍රවාහනයේ දුර්වලතාවයන්ට කදිම විකල්පයක් ලෙස ඊලොන් මස්ක්ගේ හයිපර්ලූප් ප්‍රවාහන පද්ධතිය හැඳින්වීම අතිශයෝක්තියට කාරණයක් නොවනු ඇත.